සීතල කඳුමැද – පිකෝට්‍රේල් 

සංජීවනි පද්මසේන

දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් ආදී බෝ නොවන රෝග බොහෝ සුලබය. ඒ අතර හෘදයාබාධ වලින් ක්ෂණිකව මියයන්නෝ ද වෙති. එමෙන්ම ඉතා දැඩි කාර්යබහුලත්වය, විඩාපත්බව සහ අවිවේකය ආදිය නිසා මානසික පීඩාවන්ගෙන් පෙලෙන්නන් ද බොහෝය. මේ සියල්ලටම එකම තැනකින් තිරසාර විසඳුමක් ලබා ගන්නට හැකි නම් කෙතරම් අපූරු ද!

ඇවිද්ද පය දහස් වටී යැයි අපේ පැරැන්නන් කියා ඇත්තේ නිකමට නොවේ. ඇවිදින විට අපගේ ශරීරයේ මාංශපේෂී චලනය වේ. ග්ලූකෝස් දහනය වී කැලරි දැවී යයි. එය ශරීරයට ව්‍යායාමයකි. ඒ ඇවිදීම අතිසුන්දර මීදුමෙන් වැසුණු කඳුකර වනාන්තර පද්ධතියක් මැදින් සිදු කළ හැකි නම් ශරීරයට අත්වන ප්‍රතිලාභ මෙන්ම මානසික සහනය ද එකලෙසින්ම ලැබෙනු ඇත.

ඉතින් ඒ සුන්දර චාරිකව වනපෙත්, කඳුබිම්, තේවතු මැදින් අරඹන්නට ඔබ “පිකෝට්‍රේල්” (pekoe trail) ඇවිදීමේ මංපෙතට අවතීර්ණ විය යුතුය. ආසියාවේ ඇවිදීමේ රහසිගත මාර්ග අතරින් සුන්දරතම ඇවිදීමේ මාර්ගය මේ පිකෝට්‍රේල් නම්වූ ඇවිදීමේ සංචාරක මංපෙතයි. 

පිකෝට්‍රේල් යනු කිලෝමීටර තුන්සියයක දුරකින් යුතු සතුට, විනෝදය, ත්‍රාසය සපිරුණු කඳු, තේවතු, ගම්මාන, පාලම්, ගොඩනැගිලි අතරින් ගවේශණාත්මකව තරණය කළ හැකි ඇවිදීමේ මංපෙතකි. මෙම මංපෙත එකල්හි එනම් 19 වන සියවසේ කම්කරුවන් සහ අශ්ව කරත්ත මඟින් නැවුම් ලෙස නෙලන ලද තේකොළ ප්‍රවාහනය කරන මාවතකි. 

මෙය ශ්‍රී ලංකාව පදනම් කරගත් තිරසාර උපදේශක මිගෙල් කුණාට් විසින් මෙහෙයවන ලද සහ යුරෝපීය සංගමය සහ අත්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය විසින් අරමුදල් සපයන ලද ව්‍යපෘතියකි.

ශ්‍රී ලංකාවේ විවිධ භූ දර්ශන සහ තේ වලින් සුවඳවත් වන මේ අතිසුන්දර මාර්ගය අදියර විසි දෙකකින් යුක්තව මහනුවර, මීදුමෙන් වසාගත් හන්තාන කඳුවැටියෙන් ආරම්භ වේ. එය මනස්කාන්ත සිනමාපටයක මීදුම් සළු අතර තුනී සීතල පිණිබිඳු අතරින් දෙපා තෙමෙනවාක් වැනි සුන්දර අත්දැකීමකි. ඉන්පසු එය දකුණින් හැටන් සහ හෝර්ටන්තැන්න දක්වා ගමන් කරයි.යළිත් හපුතලේ සිට ඇල්ල දක්වා ගමන් කර නුවරඑළියෙන් අවසාන වේ.

මේ මුළු ගමන් මාර්ගයම ස්වභාවික කඳු, තේවතු, ගම්මාන අතරින් ත්‍රසජනක ඇවිදීමේ ක්‍රියාවලියක් සහ සුන්දර කඳු තරණය කිරීමේ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මේ ගමන අතරතුර යුකැලිප්ටස් වනාන්තර සහ ශ්‍රී පාද ශුද්ධ කඳුවැටිය හරහා යන මාර්ගයන් ද හමුවෙනු ඇත. 

සෑම අදියරකටම කඳු නැගීම සඳහා පැය තුනක සිට හය දක්වා පමණ කාලයක් ගත වේ. සමහරවිට දුෂ්කරතාවය අනුව සහ විඩාපත්වීම අනුව සම්පූර්ණ මාර්ගය හරහා ගමන් කිරීමට සති කිහිපයක් වුවද ගතවිය හැක. 

ශ්‍රී ලංකාවට ඩොලර් උනන උල්පතක් වන සංචාරක කර්මාන්තය ඉකුත් කාලවලදී බොහෝ තාඩන පීඩන, වියවුල් මැද කඩාවැටී තිබුණ ද නැවත ඒ සියල්ල අභිබවා හිස ඔසවමින් සිටියි. එහි සීඝ්‍ර ප්‍රගතිය කරා යන ගමනේදී මේ පිකෝට්‍රේල් වලින් ලබෙන අනුබලය මහත් සවියක් වනු ඇත.

පිකෝට්‍රේල් නවමු සංචාරක අත්දැකීමකි. අඩි පාරක් හරහා  කෙරෙන මෙම සංචාරය මෙතෙක් මෙරටදී ලබා නොගත් සංචාරක අත්දැකීමක් වන අතර බොහෝ සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට හැකි ක්‍රියාවලියකි. 

මධ්‍යම සහ ඌව පළාත් හරහා විහිදී ඇති පිකෝට්‍රේල් අඩිපාර කේන්ද්‍ර කරගනිමින් තවත් කුඩා හා අතුරු ආදායම් මාර්ග රාශියක් සෘජු සහ වක්‍ර අයුරින් නිර්මාණය වී ඇත. එමෙන්ම නව රැකියා අවස්ථා රැසක් මේ හරහා ප්‍රවර්ධනය කරගැනීමට ද හැකියාව ඇත.

ග්‍රාමීය සහ නගර සංවර්ධනය ඉහළ නැංවීම, කෘෂිකාර්මික ව්‍යාපාර, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හා ලාභ උපයන ව්‍යාපාර ප්‍රවර්ධනය කරමින් තව තවත් විදේශ විනිමය ලබා ගැනීමේ උල්පතක් ලෙස ක්‍රියා කිරීමට මෙම ව්‍යාපෘතියට හැකියාව ලැබී තිබේ.

මෙහිදී ලැබෙන ආදායම තැරැව්කරුවන්ගෙන් තොරව සෘජුවම ඒ ඒ ප්‍රදේශවල ජනතාව අතටම පත්වීම සුවිශේෂත්වයකි. ආහාර හා නවාතැන් පහසුකම් සැලසීම, භාණ්ඩ අලෙවි කිරීම, දේශීය නිශ්පාදන සහ අත්කම් අලෙවිය වැනි කුඩා කර්මාන්ත තුළින් ලැබෙන ආදායම කෙළින්ම ඒ ඒ පුද්ගලයින් අතටම ලැබේ.

මෙම අඩිපාර එදා සිට ස්වභාවිකවම තිබූවක් මිස අලුතෙන් කැළෑ කපා කෘතිමව සෑදූවක් නොවන බැවින් මෙය ඉතාමත් සුන්දර කඳුකරය හරහා ඇවිදීමේ අත්දැකීමකි. දෙපයට මහන්සියක් නොදැනෙන ලෙසට, මනසට සතුට සහ ආශ්වාදය ලැබෙන ලෙසට, දෙනෙතට සුන්දරත්වය උකහා ගනු හැකි ලෙසට ගමන් මඟ සැලසුම් වී ඇත.

ලෝ ප්‍රකට ටයිම් ( time) සඟරාවේ 2025දී සංචාරය කිරීමට ලොව හොඳම ස්ථාන 100 මේ වනවිට නිකුත් කර ඇති අතර එහි ඉහළම ස්ථානයකට පත්වීමට ශ්‍රී ලංකාවේ පිකෝට්‍රේල් මංපෙතට හැකියාව ලැබී ඇත.

එහිදී එම ප්‍රවෘත්ති සඟරාවේ කතෘ කණ්ඩායම සංචාරකයින් දැනගත යුතු කැපී පෙනෙන ගමනාන්ත සහ ආකර්ශණීය නව අත්දැකීම් තෝරාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිකෝ මංපෙත එම ලයිස්තුවේ ඉහළින්ම ස්ථානගත කර ඇත.

මෙලෙස මේ සුන්දර සංචාරක මංපෙත දියුණු කරගනිමින් ඉදිරියට රැගෙන යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව මානයකට විවෘත කරවන්නක් වන අතර එය තවතවත් විදෙස් විනිමය ගලා එන තෝතැන්නක් බවට පත්කර ගැනීමට අප කටයුතු කළ යුතුය.

ඉන් ලැබෙන ආර්ථික ප්‍රතිඵල මනා ලෙස කළමනාකරණය කරගැනීම, එමඟින් ග්‍රාමීය හා නගර සංවර්ධනය වැඩිදියුණු කිරීම, ප්‍රජා හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය කර්මාන්තවල වේගවත් දියුණුව ආදී බොහෝ විකල්ප ආදායම් මාර්ග හා නව ප්‍රවණතා අපට විවරවනු ඇත.

සීතල කඳුකරයේ තෙත් හිමපතනය මැද ලංකා ඇරෝමැටික තේ කෝප්පයක නව ජීවයක් ලබන්නට, වළාකුළු වනාන්තර තෝතැන්නක අතරමං වන්නට දිනසති ගෙවා හෝ මේ ත්‍රාසජනක සුන්දර සංචාරයේ මිහිර විඳින්නට සොබාදම ඔබට දෑත් දිගුකර ආරාධනා කරයි. ඉතින් ඔබ ඒ දෑත මත වෙළී ඒ උණුසුම ද සිසිලසේ තෙතමනය ද, හදවතේ රඳවාගත යුතුමය.

පසෙකින් නිල් අහසය. ඉදිරියෙන් අහස සිඹින කඳුපෙළය ය. කඳුවටා දැවටෙන මිහිඳුම් සේලය. තේදළුවල නැවුම් සුවඳය. ඒ මැද තණබිම්, වැලිබොරලු අතුල ස්වභාවික මංපෙතය. එහි ස්පර්ෂය ලබන්නේ නම් සුරලොව නම් මේ’යැයි ඔබට හැඟුණහොත් පුදුමයක් නම් නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *