ලොව විශාලතම බිලාළ විශේෂ හතට අයත් ලංකාවේ කොටියා රතුදත්ත පොතට

අජිත්ලාල් ශාන්තඋදය

කඳුකරයේ සීතලට ඇගේ හිරිගඩු පිපෙයි. රාත්‍රියේ නොනවත්වා ඇසුනු බල්ලන්ගේ බිරුම් හඩ ලයිම්කාමර පේළියේ වැඩිහිටියන්ගේ නින්දට ගෙනාවේ බාධාවකි. හරිහමන් නින්දක් නැති පාර්වති බිමට එළිය වැටෙත්ම ලයින් කාමරයේ දොර ඇරියාය.

සින්නවේලු පාර්වතිගේ සැමියාය. ඔහුත් ඇය සමගම එළියට ආවේ පෙරදා රාත්‍රියේ බල්ලන්ගේ නපුරු මුසළ බිරුම්හඩින් ඉගිකළේ විපතක්දැයි විපරම් කරන්නට ය.

ලයිම් කාරයේ කෙළවර පිහිටි පස්කණ්ඩිය මත සින්නවේලුගේ එලුකූඩුව තිබුණි. ඔහු ඒ දෙසට ගමන් කළේ  ගැහෙන හදවතිනි.

”ආන්ඩවනේ…මගේ එළිච්චිලා දෙන්නම කොටි කාලා” සින්නවේලුගේ හඩ දෝංකාර දුන්නේ ය. ටික වේලාවකින් ලයින් කාමරවල එකා දෙන්නා සින්නවේලුගේ එලු කූඩුව දෙසට සේන්දු වන්නට පටන් ගත්තෝය

”මේ විපත කළ කොටියා කෑවත් මදි” ”இந்தப் பேரழிவை ஏற்படுத்திய புலி அதைச் சாப்பிட்டாலும் கூட, அது போதாது.” සින්නවේලු සමග සගයෝ දුක බෙදාගත්හ.

මේ කදුකර උස්බිම් ප්‍රදේශවල වනාන්තර ආශ්‍රිත දෙමළ, සිංහල ජනයා පදිංචි ජනාවාස ආශ්‍රිතව ඉදහිට වාර්තාවන සිදුවීමකි. මේ නිසා පැන්තරා පාඩස් කොටියාට කදුකරයේ දී මහ විපත් ගෙන එයි. ඒ කොටියාගෙන් ගෙවතු ආශ්‍රිතව ඇතිකරන එලුවන්, හරකුන්, කුකුළන් මෙන්ම සුරතලයට ඇතිකරන බල්ලන්ට කරන හානි වළක්වා ගන්නට කරන මිනිස් ක්‍රියාකාරකම් නිසා ය.

කදුකරයේදී ගම්වදින කොටින්ට අටවන උගුල් හෙවත් මදු මේ වඳවීයන දේශිය සත්ත්ව ගහනය තවත් අඩුකරයි. ඊට විසඳුම් ලෙස ඇත්තේ කොටි ගම්වැදීම වැළැක්වීම හෝ කොටින්ට හානි නොකරන ලෙස කදුකර වනාන්තර ආශ්‍රිත ජනතාව දැනුවත් කිරීමය.

ඇත්තටම ලංකාවේ කොටි ඉන්නවාද? ඒ කොටියෙකුට එලුවෙක් බල්ලෙක් ගෙනියන්න පුලුවන්ද? මිනිස්සුන්ට උන්ගෙන් හානියක් නැද්ද? කොටි ඉන්නේ කදුකරේ විතරද? ගැටලු රැසක් අප හමුවේ දිගහැරෙයි.

පැන්තරා පාඩස් කොටියා (Panthera pardus kotiya) ලංකාවට ආවේනික කොටියාය. කොටියා අයත්වන්නේ බිලාළ පවුලටය. ලොවපුරා බිලාළ පවුලේ වර්ග 40ක් ඇත. ඉන් විශාල බිලාළයන් විශේෂ හතකි. එසේ විශාල බිලාලයෙක් වු පැන්තරා පාඩස් කොටියා (Panthera pardus kotiya) ලංකාවේ වෙසෙන විශාලතම බිලාළයායි.   තවත් විශේෂ තුනක් ලංකාවේ වෙසෙයි. හදුන්දිවියා (Fishing Cat-Prionailurus viverrinus) එක් විශේෂයකි. වල් බළලා (Jungle Cat-Felis chaus kelarti) තව විශේෂයකි. කොළ දිවියා (Rusty sportted Cat-Prionailurus rubiginosus)   තුන්වැනි විශේෂයයි.

පැන්තරා පාඩස් කොටියා (Panthera pardus kotiya) කදුකරේ දී කදුකර කොටියා ය. යාල, විල්පත්තුව, කුමන ප්‍රදේශවලදි උගේ කදුකර කෑල්ල ලොප්වි පැන්තරා පාඩස් කොටියා ලෙස නම් වෙයි.

පැන්තරා පාඩස් කොටියා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති IUCN රතු දත්ත පොතේ නම් ඇතුළත් සතෙකි. හෙක්ටයාර් 22380ක වපසරියෙන් යුතු ”සමනල ස්වභාව රක්ෂිතය” කදුකර කොටින් බහුලම ප්‍රදේශයයි. උසින් මීටර් 2000ට ආසන්න සහ ඊට වැඩි ප්‍රදේශ මේ මධ්‍යම උස්බිම්වලට අයත්වෙයි. සමනල ස්වභාව රක්ෂිතයේ උසම ස්ථානය මීටර් 2243ක් උස සමනල කන්ද යි.

මධ්‍යම සහ සබරගමු දෙපළාතට අයිති මේ ප්‍රදේශය නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් වලට අයත් වෙයි. අඹගමුව, නෝර්වූඩ්, දැරණියගල, රත්නපුර, කුරුවිට බළන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලදී මේ පැන්තරා පාඩස් කොටියා වැඩිපුරම මිනිස් ක්‍රියාකාරකම් වලට ලක්වෙයි.

පැන්තරා පාඩස් කොටියා පිළිබද මුලින්ම හෙළිදරව් කළේ ශ්‍රී ලාංකීය සත්ත්ව විද්‍යාඥයෙකු වු පී.ඒ. එඩ්වඩ් පීරිස් දැරණියගල මහතායි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමනල ස්වභාව රක්ෂිතයේ අඩවි ආරක්ෂක (අධිශ්‍රේණි) ලෙස කටයුතු කර මෑතකදී ගිරිතලේ වනජීවි පුහුණු පාසලට ස්ථාන මාරුවී ගිය ඩී.පී. සියාසිංහ මහතා මේ වදවී යන පැන්තරා පාඩස් කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීමට සැලසුම් හදා දෙපාර්තමේන්තු මට්ටමින් ඒවා ක්‍රියාත්මක කරන නිලධාරියෙකි.

”සමහරු කියනවා ලංකාවේ කොටි නෑ, ඉන්නේ ලෙපර්ඩ්ලා කියලා. (Leopard) ලෙපර්ඩ් කියන්නේ කොටියට තමයි. 2020 වර්ෂයේදී පැන්තරා පාඩස් කොටින්ගේ ගහනය ලංකාව තුල 800ක් කියලයි දත්ත තියෙන්නේ. මේ සතාට 70%ක් හානිවෙන්නේ කදුකර ප්‍රදේශ වලදී. කදුකරයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර වලත් කදුකර තේ ඉඩම් ආශ්‍රිත වනාන්තර වලත් මේ පැන්තරා පාඩස් කොටියා ජීවත් වෙනවා.” සියාසිංහ මහතා පැහැදිලි කළේය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති පැන්තරා පාඩස් කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කරගැනීමට 2020දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම නිලධාරීන්ට සම්මත මෙහෙයුම් කාර්ය පටිපාටියක් හදුන්වා දුන්නේය.

”මේ සතාගේ කොටස් වලට වෙළදපොලේ ඇති ඉල්ලුම නිසා තමයි සතාට ජීවිත හානි වැඩිවෙලා තියෙන්නේ. වෙළදපොල වටිනාකම නැති කරන්න නීති සකස් කළා. වසර ගණනාවක තිස්සේ රටපුරාම සිටින පැන්තරා පාඩස් කොටි සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කළා. විශ්ලේෂණය කළා. දත්ත එකතු කළා. හානි අවම කරන්න ඕනෑ කරන ප්‍රදේශ අපි ඒ අධ්‍යයනයේ දී හොයාගත්තා. ඊට පස්සේ අපි පැන්තරා පාඩස් කොටි ගැවසෙන ප්‍රදේශවල ජනතාව දැනුවත් කරා. ඒ නිසා පසුගිය අවුරුද්ද වනවිට ජනතාවගෙන් වන හානිය අවම කරගන්න පුලුවන් වුණා.” ඩි.පී. සියාසිංහ මහතා පැහැදි කළේය.

මේ ශ්‍රී පාද සමයයි. වර්තමානයේ ශ්‍රීපාදයේ එන ඇතැම් පිරිස් දඩමස් සොයති. නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිව මේ තත්ත්වය වැඩිපුර ඇති බව සියාසිංහ මහතා පැවසුවේ ය. සමනල ස්වභාව රක්ෂිතයේ අලියා, ගෝනා, වදුරා, රිලවා, ශ්‍රී ලංකා අලු වදුරා, දඩුලේනා, මීමින්නා, මුගටියා වැනි සත්තුද සමනල ස්වභාව රක්ෂිතයේ ජීවත් වෙති.

මේ සතුන්  මස්පිණිස අල්ලා ගන්නට අටවන උගුල් වලට කොටි හසුවෙති ඒ කදුකර ජනාවාස වල සිටින ගෘහාශ්‍රිත සතුන් කැමට එන නිසා ය. දඩමස් වලට ඉල්ලුමක් නැත්නම් මිනිස්සු උගුල් අටවන්නේ නැත. සෑම වසරකම දෙසැම්බර් මාසයේ සිට ඊළග අවුරුද්දේ මැයි මාසය තෙක් මාසය හයක සිරිපා වන්දනා වාරය කදුකර කොටින්ගේ මරණ සහතික ලියවෙන කාලයයි.

”පැන්තරා පාඩස් කොටියා ඉලක්ක කරගෙන නෙවෙයි වනාන්තර ආශ්‍රිතව මිනිස්සු සත්තුන්ට මදු ගහන්නේ, උගුල් අටවන්නේ. නමුත් ගම්වදින කොටි මේ මදුවල සහ උගුල්වලට අහුවෙනවා. පැන්තරා පාඩස් කොටියට හානි වෙන්නේ ඒනිසයි.” සියා සිංහ මහතා පැහැදිලි කළේය.

‘මදුවලින් තොර බිමක් – හදයි කොටින්ට හෙට දිනක්’, ‘දඩමසින් තොර වන්දනාව- පින පමණක් නොව – කොටින්ගේ පණද සුරකී’ යන ආදර්ශ පාඨ සිංහ සහ දෙමළ බසින් පැන්තරා පාඩස් කොටි ගැවසෙන ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරිමට ද පියවර ගත් බව ඩී.පී. සියාසිංහ මහතා කොටින් සුරැකීමට ගෙන ඇති වැඩපිළිවෙල ගැන පැහැදිලි කළේය.

පැන්තරා පාඩස් කොටි සිටින ප්‍රදේශවල තේවතු වල තේ දලු නෙලන ගැහැණු සහ පිරිමි අයද බොහෝ අවස්ථාවල බියට පත්වෙති. ඒ තම ගෙවල් ආසන්නයට පැමිණ සුරතලයට ඇතිකරන සතෙක් රැගෙන ගිය විටදීය. නමුත් ඒ සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වතුකරයේ ජනතාව ඉලක්ක කරගෙන වනජිවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි. ඒ සදහා වතු සමාගම්වල පාලකයන්ගේ සහාය ද ලබාගෙන ජනතාවගේ කොටි බිය තුරන් කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කරති.

”වනාන්තර ආශ්‍රිත වතු නිවාසවල වෙසෙන ජනතාව ගෘහාශ්‍රිත සතුන් හදන්නේ නිදැල්ලේ. එලුවෝ, හරක්, කුකුල්ලු වගේ සත්තු නිදැල්ලේ ඉන්න බව ඉව වැටුනම කැලේ ඉන්න කොටියා ඒ සතුන් අල්ලා ගන්න ගෙවල් ආසන්නයට එනවා. ඒ නිසා එවැනි සතුන් රාත්‍රී කාලයේදි ආරක්ෂාකාරිව රැදෙව්වොත් ආහාරයට ගන්න බැරිවෙන නිසා කොටි ගම්වැදීම වළකිනවා. ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිම සාර්ථක වෙලා තියනවා.”

පැන්තරා පාඩස් කොටියා පැටවුන්ට දඩයම් කියා දීමට වනාන්තර වලින් එළියට ගෙනන අවස්ථා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති. එවැනි කොටි පැටවුන් දුටුවිට අතගෑමෙන්, එහා මෙහා කිරීමෙන් හෝ ළගට යාමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලිමක්ද කරති. හේතුව මිනිස් පහස ලද බවට කොටි දෙනට දැනුනු විට ඇය පැටවුන්ට කිරි දිම, රැකවරණය දීම ප්‍රතික්ෂේප කිරිමයි. ඒ වගේ කොටි පැටව් සිටින විට ඒ ආසන්නයේ කොටි මව රැදී සිටන නිසා පැටවුන් සිටින තැනවල ගැවසීම අනාරක්ෂිත විය හැකියි. එවැන් අවස්ථාවකදී උන්ගෙන් ඈත්ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය විසිහතරම ක්‍රියාත්මක 1992  ක්ෂණික දුරකතන අංකයට දැනුම් දෙන ලෙස වනජීවි දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරති.

මදු සහ උගුල්වලට හසුවු කදුකර කොටි, ඇතැම් අවස්ථාවල ඒවා අටවා ඇති ලීදඩු ද සමග කැලැ වදී. මිනිස් කටහඩක් ඇසෙන විට උස ගස්වලට පවා නගියි. සිරැරේ රැදුන කම්බි පොටවල් සහ ලීදඩු සමග ගස්නැගීමේ දී තොණ්ඩුව තදවීමෙන් ජීවිතක්ෂයට පත්වු කොටි ගැන කදුකරයෙන් වාර්තා වී තිබුණි.

කදුකරයේදි පැන්තරා පාඩස් කොටියාට මිනිස්සුන්ගෙන් හානි පැමිණුනද පහතරට වියළි ප්‍රදේශවලදී පැන්තරා පාඩස් කොටියාගෙන් මිනිස්සුන්ට හානිවු අවස්ථා වාර්තාවෙයි. කුමන ජාතික උද්‍යානයේ මාර්ග නඩත්තුවේ සිටි ට්‍රැක්ටර් රියදුරෙකුට පැන ඔහු මරා දැමීය. තවත් අවස්ථාවක පානම කුඩුම්බිගල අභයභූමියේ හේනක පැල් රකිමින් සිටි ගොවියෙකු මරා දැමීය. වසරකට වරක් කුමන වන මැදින් කතරගම බලා පාද යාත්‍රා වන්දනාවේ යන බැතිමතුන් අතර සිටි කාන්තාවක් තවත් වරෙක මරා දැමුවේය. ඒ ඇය ශරීර කෘත්‍ය කිරීමට පාරෙන් මදක් ඈත කැලෑවට ගිය විට දීය.

වර්තමානය වනවිට පැන්තරා පාඩස් කොටි බලන්නට දෙස් විදෙස් සංචාරකයන් කුමන ජාතික උද්‍යානයට එති. කුමන ජාතික උද්‍යානයේ කොටි ගහණය යමි වැඩිවීමක් දකින්නට ඇති බව කුමන ජාතික උද්‍යානයේ භාරකාර ආර්. ඒ.ඩී.ඩී.ඩී.. සමරනායක මහතා පැවසුවේය.

වසර ගණනාවකින් පැන්තරා පාඩස් කොටියාගෙන් මිනිස්සුන්ට හානියක් වු බවට වාර්තා නැත.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *