වෛද්‍යවරියකට සිදුවූ ලිංගික හිංසනයට එරෙහිව අනුරාධපුර වෛද්‍යවරු වැඩ වරති

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට  ඊයේ(10) රාත්‍රියේදී සිදුවූ ලිංගික හිංසනය සම්බන්ධයෙන් එම සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම වෛද්‍ය සේවාවලින් ඉවත්ව ඇත.

මේ හේතුවෙන් අද (11) දින බාහිර සායනික කටයුතු ඇතුළු වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණි රෝගීන්  දැඩි අපහසුතාවකට පත්ව සිටින බව එම රෝගීහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.

ඊයේ රාත්‍රියේදී සිය රාජකාරී කටයුතු අවසන්ව සිය නිල නිවස වෙත ගොස් සිටියදී එම වෛද්‍යවරිය ලිංගික හිංසනයකට ලක්ව ඇති බව අනුරාධපුර රෝහල් වෛද්‍ය සංගමය ප්‍රකාශ කරයි.

රෝහල් වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ රෝහලේ හදිසි වෛද්‍ය සේවාවන් හා අභ්‍යන්තර වෛද්‍ය සේවාවන් හැරුණු කොට අනෙකුත් සියලු වෛද්‍ය සේවාවන් වලින් උදෑසන සිටම වෛද්‍යවරුන් ඉවත් වී ඇති බවයි.

මේ අතර හෙද නිලධාරී සංගමය ද අද(11)  දහවල් 1.00 සිට හෙට (12) උදෑසන 7.00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *