දස වසරකට ජල බිඳුවක් නොලැබුණු අංකෙළිපිටිය ජලය යෝජනා ක්‍රමය

 

නිමල් කොළඹිස්ස – මහනුවර

 

රුපියල් ලක්ෂ 800ක මුදලක් ඇස්තමේන්තු කොට පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් අඩක් නිම කළ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවීමෙන් ජලය නොලැබ තමන් දැඩි අසිරුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු  කියති.

වර්ෂ 2015දී අංකෙළිපිටිය ඇතුළුව ග්‍රාම නිලධාරී වසම් 11ක පවුල් 2000කට පමණ ජලය ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනා ක්‍රමය ආරම්භ කොට තිබේ.

ඒ අනුව මොරගොල්ල, හපුතලේ, උඩගම, හපුතලේ එගොඩගම, අංකෙළිපිටිය, නුගලියද්ද ඉහළ, නුගලියද්ද පහළ, ලෑටියගොල්ල යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි පවුල් සඳහා ජලය ලබාදීමට නියමිතව පැවැති බව ගම්වාසීහු  Truthlk වෙත ප්‍රකාශ කළහ.

ඒ සඳහා මොරගොල්ල ඔය හරස් කොට ජල ටැංකි ඉදි කළ බවත් ජලය ගම්මාන කරා පොම්ප කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ නළ වළලා ඇති බව ද ඔවුහු පවසති. නමුත් මෙම ජල යෝජනා ක්‍රමය අඩක් නිම කොට ව්‍යාපෘතිය අත හැර දමා ඇති බව කියන ගම්වාසීහු ගෙවුණු අවුරුදු 10ක කාලය තුළ ජල බිදුවක් හෝ ලබා දීමට මෙම ව්‍යාපෘතිය සමත් නොවුණූ බව ද පැවසූහ..

විවිධ අවස්ථාවලදී පැවැති මැතිවරණවලදී ජලය ලබා දෙන බවට දෙනු ලබන පොරොන්දුවක් වශයන් මෙම ව්‍යාපෘතිය  පවත්වා ගෙන යන බව කියන ගම්වාසීහු මැතිවරණයක් එළැඹෙන විට මෙහි ඉදි කිරීම් ආරම්භ කරන බවත් මැතිවරණය අවසන්වූ වහාම ව්‍යාපෘතිය නවතා දමන බවත් විශේෂයෙන් සඳහන් කළහ.

පාතහේවාහැට ජලය නොමැති ප්‍රදේශයක් වන නමුත් මොරගොල්ල ඔයට යාබදව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද නළ ළිඳකින් අඛණ්ඩව ජලය ලැබෙන බවත් ඉකුත් ජනාධිපතිවරණට පෙර ඉදි කරන ලද මෙම ළිඳෙන් මේ දක්වා කිසිදු ප්‍රයෝජනයකින් තොරව ජලය අපතේ යන බව ද ඔවුහු කියති.

පවුල් 2000කට අධික ප්‍රමාණයක් පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනිමට නොහැකිව පීඩා විඳින විට මේ අයුරින් ජලය අපතේ හැරීම අපරාධයක් බව පෙන්වා දෙන ගම්වාසීහු, අත් හැර දැමූ ව්‍යාපෘතියේ වළලා ඇති ජල නළ වෙත මෙම ජලය සැපයීමේ හැකියාවක් ඇත් නම් තමන්ට අඛණ්ඩව ජලය හිමිවන බව ද  තව දුරටත් පෙන්වා දෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *