කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්. ඉන්දීය බැතිමතුන්ද  සහභාගී වන  ලකුණු

       වන්නි, රොමේෂ් මදුෂං

           මෙවර කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මාර්තුමස 14 සහ 15 යන දිනයන්හි පැවත්වීමට සියල්ල සූදානම් බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ උතුරු නාවික විධානය විසින් දැනුම් දී ඇත.

මේ අතර පසුගිය වසරේ (2024) ඉන්දු ලංකා ධීවර ගැටලු හේතුවෙන් කච්චතිව් දේව මෙහෙය සඳහා කිසිදු ඉන්දීය බැතිමතෙකු සහභාගී නොවුණද මෙවර ඉන්දීය බැතිමතුන් 3500 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇත.

කච්චතිව් දේව මෙහෙය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය බැතිමතුන් සේම ශ්‍රීලංකා බැතිමතුන්ටද අවශ්‍ය ආරක්ෂාව , ප්‍රවාහන පහසුකම් මෙන්ම, මෙම දේව මංගල්‍යය සඳහා පැමිණෙන යාත්‍රා සඳහා තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජල පද්ධති ස්ථාපනය කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් ස්ථාපනය කිරීම, මංමාවත් සකස් කිරීම, විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීම, වෛද්‍ය පහසුකම් ස්ථාපනය ඇතුළු යටිතල පහසුකම් ස්ථාපනය කිරීමට උතුරු නාවික විධානය මගින් පියවර ගෙන ඇත.

එමෙන්ම කච්චතිව් දේව මංගල්ලය පැවත්වෙන භූමිය පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතියක්ද සවි කිරීමටද නාවික හමුදාව මගින් පියවර ගෙන ඇත.

1913 වසරේදී මෙම කච්චතිව් දූපත ඉන්දියාවට අයිතිව තිබූ සමයේදී ඉන්දීය ධීවරයින් විසින් සිය ධීවර කටයුතු අතරතුරදී මත්ස්‍ය කර්මාන්තයේ දියුණුව උදෙසා කච්චතිව් දූපතේ ලීදඬු ආධාරයෙන් පොල්අතු අසුරා ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිළිරුවක් තැන්පත් කොට පළමුව දේව මෙහෙයන් සිදුකරනු ලැබීය.

මේ අනුව මාර්තු මස 14 වන දින කච්චතිව් දේව මංගල්ලය වෙනුවෙන් සවස 4 ට ප්‍රධාන ධජය එසවෙයි.  මාර්තු මස 15 වනදින උදෑසන පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව ඔසවන ලද ප්‍රධාන ධජය නැවත හකුලා උත්සවය අවසන් කරනු ලබන අතර කච්චතිව් දූපතෙන් සියල්ලන් නික්ම යන්නේ දූපත හුදකලා කරමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *