කිත්සිරි වනසිංහ අනුරාධපුර
නාච්චදූව ජලාශයේ අටේ සොරොව්වේ දොරවල් අටෙහිම ජල කාන්දුවක් සිදු වෙමින් පවතී.
කලක සිට සිදුවන මෙම ජල නාස්තිය නවතා දැමීමට වාරිමාර්ග බලධාරීන් කටයුතු කර නොමැත.
වසර ගණනාවක් මෙම තත්ත්වය පැවතියද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණයේ ඇති අපොහොසත් භාවය හා නිලධාරීන් තුළ පවතින නොසැලකිලිමත් භාවය මීට තදින්ම බලපා තිබේ.
අක්කර අඩි 45,149 ජල ධාරිතාවක් ඇති නාච්චදූව ජලාශය යටතේ කුඹුරු අක්කර 7000 කට අධික ප්රමාණයකට ජලය නිකුත් කරනු ලබයි.
අනුරාධපුර නුවර වැවට ජලය නිකුත් කරන ඇල මාර්ගය වන අටේ සොරොව්ව වසර ගණනාවක් මෙම තත්ත්වයේ පැවතීම නාච්චදූව ජලාශය යටතේ වගා කටයුතු සිදුකරන ගොවි ජනතාවට කරන බරපතල හානියකි.
ජලාශයේ ජල ධාරිතාවය අඩු මට්ටමක පවතින අවස්ථාවේ සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිසි පරිදී ක්රියාත්මක නොකිරීම මෙයට හේතුව බව ගොවීහු කියති.
එසේ වුවද ඉන් පිටව යන ජලය කීරික්කුලම වැවට ගලා බැසීම තුළ ජල අපතේ යාමක් සිදු නොවන්නේ යැයි වාරිමාර්ග නිලධාරීන්ගේ මතය වී තිබේ. එය එසේ වුවද අටේ සොරොව්වේ දොරවල් ක්රමවත්ව පවත්වාගෙන යාම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගකීම බව ගොවීහු කියති.


