වසර 1900 ක් පැරණි චෛත්‍යයක නටබුන් නාඋලින් මතුවෙයි.

නාඋල, ඉන්දික අරුණ කුමාර

සොබාදහම විසින්ම සගවා තැබු ඉතිහාසගත කරුණු යළි හමුවීම යනු මානව ශිෂ්ඨාචාරයේ යළි නැගීටිමකි.

අතීත ශ්‍රී විභුතිය වනාහි වර්තමාන මානව සංහතියේ නව නැග්මකට අක්මුල් සොයා යෑමක් යැයි කෙනෙකුට සදහන් කල හැකිය.

එකි කතිකාවකට මුලාරම්භයක් සපයනු වස් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඹබරගහවත්ත ප්‍රදේශයෙන් අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන සුවිශේෂි නෂ්ඨාවශේෂ රැසක් හමුවීමේ පුවත කණින් කොණින් ඇසෙද්දි එහි අගමුල සොයා යෑමට අපට හැකිවිය.

මේ ගමන සංවිධාන වූයේ කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාල නිලධාරින් හා නාලන්ද කලාප භාර පූජ්‍ය අමිත ස්වාමින් වහන්සේගේ ද සහභාගීත්වයෙනි.

නාඋල සිට ඇලහැර මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ මොරගහකන්ද ජලාශය දෙසට ගමන්ගත් කළ විට හමුවන හතරමං හංදියෙන් වමට හැරි තවත් කිලෝමීටර් 4 – 5 පමණ ගමන් ගත් කළ බඹරගහවත්ත ග්‍රාමයට පිවිසිය හැකිය.

මහ කුමාරගල කදු ශිකරයෙන් වටවු හැලඹගහවත්ත,පුබ්බිලිය ආදී ගම්මාන වලට සමගාමීව පිහිටා ඇති බඹරගහවත්ත ගම්මානයේ වැසියන්ගේ ප්‍රධාන ජිවනෝපාය වනුයේ ගොවිතැනයි.

පැරණි නිවාස වල අදුර මැදින් වැටි ඇති තරමක් ගල් ගැලවී ඇති මාර්ගයේ ඉදිරියට ගමන් ගත්විට බඹරගහවත්ත ග්‍රාමයේ පිහිටි පැරණි වැව වෙත යන කැලෑ සහිත මාර්ගයේ අපි ඉදිරියට ගියෙමු.

තනිව ගමන් කිරිමට පවා බිය උපදවන පරිසරයේ දැඩි නිහඩතාව බිද දැමුවේ අප එන බව දැනදෝ අවට සිටි රැහැයියන් විසිනි.

තොරතෝන්චියක් නොමැති රැහැයි හඩ මැදින් කලින් සුද්දකර ඇති පටු මාර්ගයක් ඔස්සේ අපව රැගෙන ගියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු පිරිස විසිනි.

කිලෝමීටර් භාගයක් පමණ ඝන කැලෑව මැදින්  ගොස් තැනිතලා බිමකට අපි පැමිණියෙමු.

නිදන් හොරුන් විසින් කිසිදු වග විභාගයකින් තොරව හාරා දමන ලද උස් බිමක් ආසන්නයේ අපි නැවතිමු.

‘ මේ තමයි අපට හමුවුනු ස්ථාන අතරින් එක් ස්ථානයක්. මෙතන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසු විහාර සංකීර්ණයක් පැවැතිලා තිබෙනවා.

මේ අවට පරික්ෂා කිරිම් වල දි අපිට බොහෝ සාක්ෂි හමුවුනා.‘

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා කරුණු පැහැදිලි කළේය.

වසර 1900 ක පමණ පැරණි ඉතිහාසයකට මේ ස්ථානය දිව යනවා. අනුරාධපුර රාජධානි සමයේ (ක්‍රි.පු. 02 වන සියවස) මේ ස්ථානයේ ඉදිකිරිම් සිදුවන්නට ඇතැයි සිතන්න පුලුවන් මොකද මෙතන දී හමුවුනු වළං කැබැලි,කැඩි ගිය ගල් කොටස් වගේම මැටි බදුන් වල කොටස් නිරික්ෂණය කිරිමේ දී ඉතාමත් අලංකාර විහාර මන්දිරයක් පවතින්නට ඇතැයි සිතන්න පුලුවන්.

මේ ස්ථානයට යාබදව අඩි 400 – 500 පමණ විෂ්කම්භයකින් යුතු චෛත්‍යයක නටඹුන් අපට හමුවුනා ඒ අනුව අපට කියන්න පුලුවන් අපි දැනට සලකුණු කරගෙන තිබෙන අක්කර 17.5 ක භුමි ප්‍රමාණය පුරාවටම සහ ඉන් ඔබ්බටත් විවිධ පුරාවස්තු මේ භුමියේ තිබෙන්න පුලුවන් කියලා‘

ටිකිරි හේරත් ගුණතිලක මහතාට අනුව මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විවිධ දැන්වීම් පුවරු මේ භුමියේ සවිකර තිබේ.

මේ වනවිටත් මංපෙත් සැකසීම මෙන්ම අවට පරිසරය පවිත්‍ර කිරිමේ කටයුතු ද ආරම්භව ඇත.

අප සිටි ස්ථානයට නැගෙනහිරින් මීටර් 200 ක් පමණ දුරින් උස් කුඩා කදු මුදුනක් වෙත පිරිස අපිව රැගෙන ගිය අතර එහිදි නිදන් හොරුන් විසින් විනාශ කර දමන ලද ගැඹුරට හාරන ලද වලක් වැනි ස්ථානයක් දක්නට ලැබිනි.

එහි අභ්‍යන්තරයේ මනාලෙස අසුරන ලද ගල් රැසක් දැකගත හැකිවිය.

‘ මේ ස්ථානයේ පැරණි චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඇත්ත වශයෙන් මේ ස්ථානයේ නිදන් හොරුන් විසින් සිදුකර තිබෙන කැණිම් හා අවට විසිරි ඇති ගල් කැබලි කොටස් මෙන්ම ආසන්නයෙන්ම පිහිටා තිබෙන පඩි පෙලක නටඹුන් පිරික්සිමේ දී මෙම ස්ථානයේ දැවැන්ත දා ගැබක් පැවතියා යැයි තිරණය කරන් පුලුවන්.‘
තවමත් එළි නොවූ ලදු කැලෑ පරිසරය හේතුවෙන් මෙම පුරා විද්‍යා භුමිය එකඑල්ලේ නැරඹිය නොහැකි වුවත් 2017 වසරේ දී නිදන් හොරුන් විසින් හාරා ඇති මෙම ස්ථානය පිළිබදව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ගවේෂණයන්ගේ ප්‍රතිඑල වලට අනුව දිය අගල්,වෘත්තාකාර මන්දිර හා  ජලාප්‍රවාහන මාර්ග රැසක් තවමත් මේ භුමියේ දක්නට ලැබෙන බව අප හා කියා සිටියේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා  මධ්‍යම පළාත් භාර නඩත්තු කළමණාකරු ඩබ්ලිව්.එම්.යු.බණ්ඩාර මහතාය.
අප සිටි ස්ථානයේ සිට තවත් සැතපුම් දෙකක් පමණ පා ගමනින් ඇවිද ගිය විට විවිධ වන ලැහැබ් වල පැවති කාලානුරූපි කඨෝර බව නිසාම ගමන ඉතා වෙහෙසකර කටයුත්තක් විය.
එක් අයෙකුට තවත් අයෙක් නොපෙනෙන ලෙසින් වැඩි ඇති මානා ශාක යම් තරමකින් හෝ මට්ටු වී ඇත්තේ තැනින් තැන ගොවීන් විසින් සිදුකර ඇති බෝග වගා හේතුවෙනි.
කෙසේ වෙතත් ඇතැම් ස්ථාන වල සුන්දරත්වය වැඩිකර ඇත්තේ අහස උසට නැගි ඇටඹ ශාක හේතුවෙනි. ඒවා බොහෝ තැන්වල සිය බිජ තැන තැන පැලකර ඇත්තේ තවත් රුක් ගොමුවක් ඇතිවන අයුරිනි.
මිනිස් වාසයක නෂ්ඨාවශේෂ ලෙස තවමත් ඉතිරිව ඇති කොස් ගස් වල ගෙඩි හටගෙන ඇත්තේ අපුර්වත්වයක් පරිසරයට එක්කරමිනි.
පාලු වෙල් පිටි වල දහස් ගනන් වු රෝග නිවාරණය කළ හැකි නා නා විද පැලෑටි වර්ග රැසක් මේ ගමනේ දී අපට හමුවිය.
අතීත මිනිසුන් විසින් සිය සුඛ විහහරණය පිණිසම නොව සමාජයේ යහ පැවැත්ම උදෙසා ද බොහෝ දේ ඉතිරිකර ඇති බව අපට මේ ගමනේ දී පසක් කර දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාලන්ද කලාප භාර පූජ්‍ය අමිත ස්වාමීන් වහන්සේ විසිනි.
අතිශ්‍ය වූ බුද්ධාලම්භන ප්‍රිතියෙන් යුක්තව බොහෝ වෙහෙස වී ඉදිකරන ලද පැරණි බෞද්ධ නිර්මාණ අතරේ බඹරගහවත්ත ඓතිහාසික භුමි භාගයෙන් මෙතෙක් හමුවී ඇති දෑ සම්බන්ධයෙන් ද අමිත ස්වාමීන් වහන්සේ දරන්නේ අපුරු අදහසකි.
අතීත මිනිසා විසින් මතු පරපුරේ යහපැවැත්ම උදෙසා සිදුකළ අද්වීතිය නිර්මාණ අතරේ ඇත්තේ මිනිසාගේ උත්තරිතර නිරාමිස ගුණය බව උන්වහන්සේ සදහන් කළහ.
වසර ගනනාවක් පුරා මහ පොළවේ නිර්මාණය වු අතීත උරුමයක නටඹුන් තවමත් ඇත්තේ මහ පොළව යටය. 
ඒ සියල්ල උඩට මතුකර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තවත් වසර ගණනාවක් ගතවනු ඇත.
එහෙත් ඒ සදහා පහසුකම් සපයන සෙසු ආයතන වල කඩිනම් මැදිහත්වීම මත එම කාලය ඉක්මන් කළ හැකිය.
මේ වන විටත් බඹරගහවත්ත පුරා විද්‍යා භූමියෙහි තවදුරටත් සිදුවන ගවේෂණයන් හේතුවෙන් මෙතුවක් පුරා විද්‍යාවට හසුනොවු අනාදිමත් අතිතයක තොරතුරු රැසක් හෙළි වීමට නියමිතය.
බඹරගහවත්ත වැවට මායිම්ව එහි ජලයට යටවී ගොස් ඇති පැරණි බඹරගහවත්ත ගම්මානය  1818 කැරැල්ල හා බැදුනු විරුවන්ගේ සබදකම් සහ වාරියපොල සුමංගල හිමිපානන් දළදා වහන්සේ සගවා තබාගත් ස්ථානය ද ඇත්තේ පුරාවස්තු හමුවු බඹරගහවත්ත ගම්මානයට නොදුරින් වීම ද විශේෂත්වයකි.
මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනට සලකුණු කර ඇති අක්කර 17.5 ක භුමි ප්‍රදේශයට පිටතින් ද තවත් සැගවුනු ඉතිහාසගත තොරතුරු තිබිය හැකිය.
එනිසාම පැරණි බඹරගහවත්ත ගම්මානය එහි පිහිටි පැරණි වැව සහ අවට පරිසර පද්ධතිය පිළිබදව සිදුකරන ගවේෂණ තවදුරත් සිදුවනු ඇත.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හයක් මීට පෙර මහා ජලධාරාවකට යටව ගියේ මොරගහකන්ද ජලාශය හේතුවෙනි.
අදටත් වරින් වර මොරගහකන්දේ ජලය අඩුවීමත් සමග මතුවන මේ ගම්මාන අතරේ ගල්පෝරු‍ගොල්ල,කඹරව,ඇලගමුව,කෝන්ගහවෙල,මැදපිහිල්ල ආදී ගම්මාන වල වැසියන් කල කී දැ ජලයෙන් යටව ගොස් තිබේ.
එනිසාම  බඹරගහවත්ත ගම්මානයේ මේ වන විට හමුවී ඇති අතීත නටඹුන් පිළිබදව සිදුකරනු ලබන ගවේෂණ කඩිනම් කිරිම සදහා සෙසු රාජ්‍ය ආයතන කඩිනම් සහාය ලබාදිය යුතුය.
එකි සාමුහික වගකිම් හමුවේ මෙතෙක් හෙළි නොවු අප්‍රකට තොරතුරු රැසක් හෙට පරපුර වෙනුවෙන් අප විසින් හෙළිකර දීම  සමාජ යුතුකමක් වන  නිසාවෙනි.

01 සොයාගනු ලැබු නාඋල – බඹරගහවත්ත ගම්මානයේ පිහිටි චේතියඝර ස්වභාවයට ඉදිකරන ලද විහාර සංකීර්ණයෙන් හමුවු වළං කැබලි  පුරාවිද්‍යා නිලධාරින් නිරික්ෂණය කල අයුරු.( පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මධ්‍යම පළාත් භාර නඩත්තු කළමණාකරු ඩබ්ලිව්.එම්.යු.බණ්ඩාර, පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ නාලන්ද කලාපය භාර පූජ්‍ය අමිත ස්වාමින්  වහන්සේ ඇතුළු නිලධාරිහු ඡායාරූපයේ වෙති)

02 ඉපැරණි චෛත්‍ය පිහිටි ස්ථානය  –

03 කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා –

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *