කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කාන්තාවන්ගේම දිනය

සංජීවනී පද්මසේන

සිය උර මත තබාගෙන මහ සයුර තරණය කරමින් දිවි බේරා දුන් බෝසත් පුතුට මතු බුදු වේවායි කියා පළමු නියත විවරණ දුන්නේ බෝසත් මාතාවයි. ඉනික්බිති උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරණ බෝසතාණන් කුස දරා සිටියේ පිංවත් මව්තුමිය මහාමායාවයි. එතුමිය කලුරිය කිරීමෙන් පසු සිය ජීවිතයම කැප කොට ළදරු බෝසතාණන් රැක බලාගෙන බුද්ධ මාතා නම් ගෞරවය දිනුවේ ප්‍රජාපතී ගෝතමියයි. ලේන කුලයේ සිට සසර සැරි සරා පාද පරිචාරිකාව වී අබිනික්මනේ වියෝව මැදිහත් සිතින් දරා ගත්තී යශෝදරාවයි. ඒ සියල්ලන්ම පොදුවේ ගත් කළ කාන්තාවන් ය.

කෙස් කළඹේ සඟවාගෙන දන්ත ධාතූන් වැඩමවූයේ හේමමාලාවන්‍ ය. දෝතින් දරා ශ්‍රී මහා බෝ රුක රැගෙන ආවේ සංඝමිත්තා තෙරණියය. ඒ සියල්ලෝම කාන්තාවන්ම වෙති.

මේ මිනිසුන් ද, වන සතුන් ද, ශාක සහ සත්ත්ව ප්‍රජාව දරා සිටින මිහිතලය ගෞරවයෙන් හඳුන්වන්නේ මහී කාන්තාව හෙවත් මිහිමව ලෙසිනි. උගත් පාසල, පාසල් මාතාව නම් වෙයි. ලංකා ද්වීපය ශ්‍රී ලංකා මාතාව ද, භාරත දේශය භාරත මාතාව ද වෙයි. මාතා හෙවත් මාතෘත්වය හිමි තැනැත්තී සියල්ලන්ටම වඩා උතුම් බව, ගෞරවනීය බව මේ සියල්ලන්ගෙන්ම තේරුම්ගත හැක.

මෙලෙස කාන්තාව සතු අභිමානය ගැන බොහෝ දේ සටහන් කළේ මාර්තු මස 08 වන දිනට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති නි සාය. කාන්තාවන් ගැන, කාන්තා අයිතිවාසිකම් ගැන කොපමණ දේ කෙලෙස කතා කළ ද, අද මේ මොහොතේ ද මේ තත්පරයේ ද ලෝකයේ කොතැනක හෝ කාන්තාවක් හිංසනයට, අපහරණයට හෝ දූෂණයට ලක්වෙයි. නැතහොත් නීතිවිරෝධී ගබ්සාවක් හේතුවෙන් අධික රුධිර වහනයෙන් මියයයි. එසේ නැත්නම් කොතන හෝ බැලමෙහෙවර කරයි. සැමියාගේ බීමත්කම නිසා ගුටිබැට ලබයි. නැතහොත් අනේකවිධ නින්දා අපහාසයන්ට ලක්වෙයි.

එමෙන්ම ඉපදීමටත් පෙරම ලෝකයේ සමහර රටවල ගැහැණු දරුවන්ට සිය කළල ජීවිතයෙන්ම මෙලොවින් සමුගැනීමට සිදුවෙයි. ඒ ඇය උපත ලැබුවහොත් එම පවුලට බරක් හෝ අවමානයක් ලෙස පිළිගන්නා බැවිනි. 

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කොපමණ දෙනා කෙලෙස හඬ නැගුවද කාන්තාවන්ට බොහෝ විට සිදුවන්නේ මෙලෙස වින්දිතයින් ලෙස දුක් පීඩා විඳීමටයි. තවමත් නිසි අධ්‍යාපනයක් පවා ලබා ගැනීමේ අයිතිය අහිමි කාන්තාවෝද සිටිති. විවාහ වීම, දරුවන් හැදීම, සැමියාගේ යටතේ සියලු කටයුතු පුරුෂාධිපත්‍යට යටවී සිදු කිරීමට සිදුවීම නිසා ඇතිවන අධික මානසික අවපීඩනය හේතුවෙන් දිවියෙන් සමුගන්නා කතුන් ද නැතුවා නොවේ.

ජාත්‍යන්තර කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ පිළිගත් දිනයක් බවට පත්වීම දක්වාම වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහාය. තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත් වඩා හොඳ වැටුප් හා ඡන්ද අයිතිය ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටිමින් පහළොස් දහසක කාන්තාවන් පිරිසක් නිව්යෝක් නගරයේ සිදු කළ පාගමනක ප්‍රතිඵලයක් ලෙස 1908 වසරේදී එහි මූලාරම්භය සිදුවුණු අතර මින් වසරක් ගතවුණු පසු ඇමරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශ කරන ලදී. 

එම දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කරන අදහස රැගෙන ආවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්ලාරා සෙට්කින් නැමැති කාන්තාවක් විසිනි. රටවල් 17ක කාන්තාවන් සියදෙනෙකු සහභාගි වී සිටි කෝපන්හේගන්හි පැවති ජාත්‍යන්තර සමුළුවකදී ඇය එම අදහස ඉදිරිපත් කරන ලදුව එම කාන්තාවෝ ඇයගේ අදහසට එකාවන්ව එකඟ වූහ. 

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමඟ එය නිල වශයෙන් පිළිගත් දිනයක් බවට පත් විය. නිල ප්‍රථම කාන්තා දිනයේ තේමාව ලෙස “අතීතය සමරමින් අනාගතය සැලසුම් කිරීම” යන්න යොදා ගන්නා ලදී. 

බොහෝ රටවල මෙම කාන්තා දිනයේදී සමාජයීය, දේශපාලන හා ආර්ථික වශයෙන් කාන්තාවන්ගේ සංවර්ධනය හා දියුණුව කොපමණ ද යන්න සමරන නමුත් ඇතැම් රටවලදී එය විරෝධතා සංවිධානය කරන දිනයක් බවට ද පත් වී ඇත.

මේ සඳහා මාර්තු 08 වන දා යොදා ගත්තේ ඇයි ද යන්නටද  හේතුවක් තිබේ. කාන්තා දිනයක් ඉල්ලා සිටි ක්ලාරා සෙට්කින්ට ඒ සඳහා නිශ්චිත දිනක් ගැන අදහසක් නොතිබුණි. 1917 වසරේදී රුසියානු කාන්තාවන්ගේ යුධකාලීන වැඩ වර්ජනය ආරම්භ වූ අතර ඉන් දින හතරක් ගත වූ පසුව “සාර්” රජුට රාජ්‍යය පාලනය අත්හරින ලෙස බලපෑම් කෙරුණි. එහිදී පත්වුණු තාවකාලික රජය රුසියානු කාන්තාවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන ලදී. එය රුසියාවේ භාවිතා කරන දින දර්ශනය අනුව වැඩ වර්ජනය ආරම්භ කළ දිනය එනම් පෙබරවාරි 23 ඉරිදා දිනයයි. ග්‍රෙගරියානු දින දර්ශනයේදී මෙම දිනය මාර්තු 08වනදා ලෙස සටහන් වන අතර මේ වනතුරුම ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මාර්තු 08 වනදාටය. 

මෙම වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වනුයේ “සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සවිමත් කිරීම” යන්නයි.බොහෝ රටවල ජීවිතය සහ නිදහස වෙනුවෙන් කාන්තාවන් අධික ලෙස පීඩාවට පත්වුවද, යුධ අපරාධ සහ සයිබර් අපරාද හමුවේ වින්දිතයන් බවට පත් වූවද, අද වනවිට කාන්තාවන් සඳහා වඩාත් හොඳ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නායකත්වයක් ලැබී තිබේ. 

එමෙන්ම බොහෝ රටවල්වල පවතින යුධ හා ගැටුම්කාරී වාතාවරණය නිසා අනාරක්ෂිතභාවය, ආහාර හිඟකම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ප්‍රශ්න, දරිද්‍රතාවය හා පුරුෂාධිපත්‍යය මඟින් ප්‍රචණ්ඩත්වය ඉහළ යාම වැනි කරුණු ද ඉහළ ගොස් තිබේ. අප රටේ වුවද එකී බොහෝ දුක් කරදර විඳින පීඩිත කාන්තාවන් මෙන්ම අධ්‍යාපනය, දේශපාලනය හා ආර්ථික සංවර්ධනය හමුවේ පිරිමින් අභිබවා මහ පොළොව පමණක් නොව අහස ද ජයගත් කාන්තාවන් සිටීම මහත් ආඩම්බරයකි.

යුරෝපීය පාර්ලිමේන්තුව මඟින් 2026 වසර වනවිට පොදු සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීති සම්මත කර ඇති අතර ආමේනියාව හා කොලොම්බියාව මාපිය නිවාඩු නීති ලබාදී ඇතුවාක් මෙන්ම ස්පාඤ්ඤයේ ඔසප් සෞඛ්‍යය නිවාඩු වලට අදාල නීති ද සම්මත කර ඇත.

අප රටේ ද මේ වනවිට බොහෝ කාන්තාවන් සඳහා නෛතික, සමාජයීය සහ දේශපාලනමය වශයෙන් තම තනතුරු ඉහළ නංවා ගැනීමට, සම තනතුරු සහ නිලතල දැරීමට, පිරිසිදු සහ නීරෝගී දිවියක් සඳහා මනා මාතෘ හා ළමා සෞඛ්‍යය වර්ධනයක් ලබා ගැනීමට, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබී තිබේ. එහෙත් ඒ හා සමඟම දිනෙන් දිනම කාන්තාවන් හා ළමා අපයෝජන වැඩි වන අතර ස්ත්‍රී දූෂණ හා අපචාරවලට ගොදුරුවන කාන්තාවන් මෙන්ම එහිදී ජීවිතය පවා අහිමිවන කාන්තාවන් ද වර්ධනය වී ඇති බව නොරහසකි.

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ (අ) සිට (ඈ) දක්වා උප වගන්ති යටතේ ස්ත්‍රී දූෂණය බරපතල වරදක් ලෙස අර්ථ නිරූපණය කර ඇතත් කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවීමේ අඩුවක් නම් නැත. ලංකාවේ මේ ස්ත්‍රී දූෂකයින් බහුතරයක් දඩුවම් නොලබා නිදැල්ලේ සිටින අතර සමාජ අවමාන හා දැඩි ලැජ්ජාව නිසා කාන්තාවෝ නීතිය ඉදිරියට යාමට මැලිකමක් ද දක්වති.

මෙලෙස සදාචාරසම්පන්න නොවන අවමාන හා වදහිංසාවලට ගොදුරුවන කාන්තාවන් ඉන් මුදාගෙන පුනරුත්තාපනය කිරීම, මානසික වියවුල් වලින් තොරව සමාජගත කරවීම, මාතෘ හා ප්‍රජනන සෞඛ්‍යය වර්ධනය කිරීම ආදී කටයුතු සඳහා කාන්තා සංවිධාන මෙන්ම රජය ද මැදිහත් විය යුතුය.

ලොව පුරා වන්දනාමාන කරන තරමට උතුම් “මාතා” යන ගෞරවනාමය ලැබිය හැකි වන්නේ කාන්තාවන්ට පමණක්මය. එබැවින් එවැනි කතුන් රැකගැනීම පමණක් නොව ගැහැණු දරුවන් රැක ගැනීම, ඔවුනගේ අයිතිවාසිකම් සුරැකීම, නිසි අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම, සමාජයීය වශයෙන් පිළිගන්නා ඕනෑම තනතුරක් ලැබිය හැකි පරිදි සමානාත්මතාවය ලබාදීම කාන්තා දිනයේදී පමණක් නොව සෑම දිනයකදීම සෑම මොහොතකදීම කළ යුත්තකි. “තොටිල්ල පදවන අත රටක් පාලනය කරයි” යන කියමන අමතක නොකළ යුතුවාක් මෙන්ම “ලෝකය පැවතෙන්නේ හිරු කිරණින් සහ මවගේ මව් කිරෙන්” බව මැක්සිම් ගෝර්කි පැවසූ බව ද අමතක නොකළ යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *