RDB බැංකුවෙන් ව්‍යවසායකයන් පහළොස් දහසක්

ඇහැලියගොඩ, රංජන් මඩගම්මන 

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි ව්‍යවසායකයින් පහළොස්දහසක් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

එම ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාතේ ව්‍යවසායකයින් 150 ක් සඳහා රුපියල් මිලියන 300 ක් ප්‍රදානය කිරීම පසුගිය දා (04) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර Grand Guardian උත්සව ශාලාවේ දී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසූයේ නිෂ්පාදිත ආර්ථිකයක් මත රට සංවර්ධනය කරා රැගෙන යාම නව රජයේ ප්‍රතිපත්තියක් බවය.

ඒ සඳහා රට තුළ ව්‍යවසායකයින්  බිහි කිරීම, රැක ගැනීම, මඟ පෙන්වීම වෙනුවෙන් රජය පෙනී සිටින බවද සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය මෙහිදී සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය පැවසූයේ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනයට අමතරව මූල්‍ය සාක්ෂරතාව, තාක්ෂණික දැනුම හා දෙස් විදෙස් වෙළඳපොළ පිළිබඳව දැනුවත් භාවය ලබා දීම වෙනුවෙන් ද රජය සෘජුව මැදිහත්වන බවය.

වර්ෂ 1985 දී ආරම්භ කළ මෙම බැංකුව මේ වන විට රට පුරා ව්‍යවසායකයින් 5000 පමණ බිහිකර ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ජනක ප්‍රියශාන්ත මහතා මෙදින (04) පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සතුව ඉතුරුම් ලෙස රුපියල් මිලියන 325 ද, ණය ලෙස රුපියල් මිලියන 250 ක් ද, තැන්පතු ලෙස රුපියල් මිලියන 260 ද මූල්‍ය වත්කම් පවතින බවය.

නව රජයේ දූගී දුප්පත්කම තුරන් කිරීම ග්‍රාමීය ණය ගැති භාවය අවම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සෘජුව මැදිහත්ව කටයුතු කරන බව ද සාමාන්‍යාධිකාරවරයා මෙහිදී පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *