ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමෙන්තුව 15 වන සංවත්සරය සමරයි

වැලිගම  තරංග ගුණරත්න 

වර්ෂ 2010 මාර්තු මස 04 දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්‌තමේන්තුව, 2009 අංක 41 දර ණ පනත මඟින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වනු ලබන අතර, අභිමානවත් 15 වන සංවත්සරය 2025 මාර්තු මස 04 වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරය සහ ප්‍රධාන ධීවර වරායන් 26, වෙරළ ආරක්ෂක ස්ථානගත කිරීම මඟින් ආරක්‍ෂා කරනු ලබන අතර, ජීවිතාරක්ෂක මුරකුටි 16 ක් මඟින් දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ජීවිත බේරා ගැනීම සිදුකර නොමද ගෞරවයට පාත්‍ර වී ඇත. සමුද්‍රීය කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මිනිස් ජාවාරම් මෙන්ම මහ සයුරේදී ජීවිත හා දේපල වලට වන හානි අවම කිරීම, සමුද්‍රීය දූෂණය වැළැක්වීම හා ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, වෙරළ තීරය හා සමුද්‍රිය පරිසරය ආරක්ෂා කිරීම ඇතුළු විශාල කාර්‌ය භාරයන් රැසක්  වෙරළ ආරක්‍ෂක දෙපාර්‌තමේන්තුව මගින්  සිදු කරනු ලබයි.

වේග මුර යාත්‍රා කුඩා ප්‍රමාණයකින් ආරම්භ වූ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වර්තමානය වන විට නෞකා හා යාත්‍රා බල ඇණිය, ගැඹුරු මුහුද නිරීක්ෂක නෞකා 02 කින්, වේග මුර නෞකා 02 කින්, වේග මුර යාත්‍රා 10 කින්, වෙරළබඩ මුර යාත්‍රා 10 කින් හා වරාය ආරක්‍ෂක යාත්‍රා කිහිපයකින් සමන්විත වේ. එමෙන්ම, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ අනෙකුත් විවිධ සිදුවීම් කළමණාකරණය කිරීමෙහිලා කළාපීය රටවල් සමඟ මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ ආයතන සමග මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවන ඕනෑම තෙල් විසිරීමක් සඳහා ජාතික තෙල් කාන්දු වීම පිළිබඳ හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති අතර, එම අභියෝගයන් වලට මුහුණ දීම සඳහා වර්තමානයේදී මනා පුහුණුවකින් යුත් නිලධාරීන්, වෙරළ ආරක්‍ෂක කණ්ඩායම් සහ ඊට අවශ්‍ය කරන නවීන උපකරණ වලින් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමන්විත වේ.

15 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ආගමික සහ ප්‍රජා වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇති අතර, මෙම ක්‍රියාකාරකම් සිදුකිරීම තුළින් ආයතනයේ ප්‍රගමනය ජනතාවට ප්‍රදර්ශනය කිරීම, වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් ඇගයීම සහ මහජනයා සමඟ ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වනු ඇති බවට  විශ්වාස කෙරේ.

වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙහි කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ මහතා ගේ සංවත්සර නිවේදනයට අනුව ‘ ජල තීරය ආරක්‍ෂා කිරීම, ජාතියට සේවය කිරීම යන දැක්ම යටතේ අප ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ආඩම්බර වෙමින් පෙරටත් වඩා ශක්තිමත්ව එම ජාතික මෙහෙවරට කැපවී සිටින බව සිහිපත් කළ යුතුය.

අනාගතයට උචිත වන අයුරින්, හැකියාවන් වැඩිදියුණු කර ගැනීම, නව තාක්ෂණයන් භාවිතා කිරීම සහ නැඟී එන සමුද්‍රීය අභියෝග වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තරය සමඟ සහයෝගීව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවට වඩාත් ආරක්ෂිත සහ ස්ථායි සමුද්‍රිය අනාගතයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 15 වන සංවත්සරය අභිමානයෙන් යුක්තව සමරයි.
එ සඳහා  විවිධ උත්සව සහ ආගමික වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක විය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *