අනුන්ගේ දුකට මහ  වන මැද දිෂ්ටි වන දුම්මල කඩන්නෝ

නාඋල ඉන්දික අරුණ කුමාර

විද්‍යාව කෙතරම් දියුණු වුවද  විවිධ ශාන්තිකර්ම ඇතුළු ගුප්ත විද්‍යා ක්‍රම වලට දුම්මල යොදාගැනීම අදටත් සිදුවන්නකි.

මේ දුම්මල හැදෙන්නේ කොහෙද? කොහොමද ? යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසකට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය සැකසෙයි.

උසින් අඩි සීයයක් පමණ වන මේ දුම්මල හටගන්නා ශාකය ‘හල් ‘ ගස ලෙස හදුන්වයි.

හල් ශාකය පිළිබදව බොහෝ කතා ඇතත්  අපි පළමුව දුම්මල සොයා යමු.

මාස කිහිපයක සිට මේ සඳහා පිඹුරු පත් සැකසුව ද,  ගමන් සගයින් සොයාගැනීම හා ඊට සූදානම් වීම බොහෝ සේ දුෂ්කර කටයුත්තක් විය.

කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික්කයේ දී අපට හමුවන මේ හල් ශාක පිරි දුම්මල කන්ද යනු ඉතා පහසුවෙන් ළගාවිය නොහැකි කන්දකි. එමෙන්ම වර්ෂා සමය හේතුවෙන් ගමන් මගේ ඇති ගල් බුරුල්වී ගැලවී යාමේ දැඩි අවදානමක් පවතිද්දි ඒ අවදානම මැද  ගමනට මග පෙන්වුයේ වැලමිටියාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් පැතුම් ජයසිරි,නිකුල ප්‍රදේශයේ පදිංචි මද්දුම බණ්ඩාර සහ හුංගන්වෙල පදිංචි මංජුල ජයරත්න යන සොහොයුරන් විසිනි.

‘දුම්රග්ගල ‘ නැතිනම් දුම්මල කන්ද එසේත් නැතිනම් නිකුල කන්ද තරණය සඳහා ඝෘජු මෙන්ම දළ බෑවුම් ඔස්සේ කිලෝ මීටර් අටක් නැතිනම් සැතපුම් දොළහක් පමණ දුරක් ඉතා ආයාසයෙන් අසීරු ගමනක යෙදිය යුතුය.

ඓතිහාසික සිද්ධාන්ත රැසක් වසර ගණනත් තිස්සේ සගවාගත් මේ යෝධ පර්වතය වනාහි සොබාදහමේ අපුරු තක්සලාවකි.

නා නා විද බෙහෙත් ඖෂධ අතරේ යකි නාරං හා හීන් බෝවිටියා ශාක මහත් උජාරුවෙන් පොළවෙන් ඉහළට එසවි වාසය කරයි.

බැලු බැලු තැන ඝන කළුවරකින් යුතු  මේ වනාන්තරය දැඩි නිහැඩියාවකින් යුත්තය. කිලෝ මීටර් තුනක් පමණ ගිය තැන කොල අතු එල්ලන ස්ථානයක් වූ හෙයින් මගපෙන්වන්නෝ සිය පාවහනන් ගලවා කුඩා කොල අතු එල්ලා වැඳ නමස්කාර කර, යන ගමනට ආරක්ෂාව ඉල්ලූහ. ඔවුනට අනුව මම ද එසේ කළෙමි.

වචන වලට පෙරළිය නොහැකි ඉතා දුෂ්කර ගමනක් වු මෙම ගමන සුලු පටු නොවන බව වැටහි ගියේ මහ වන මැද පිරිසෙන් විටින් විට වෙන් වී ගමන් ගනිද්දිය. වරෙක ඉතා අපහසු බෑවුම් තරණය කරමින් සහ ගල් පර්වත මතට නගිමින් ගමන් ගනිද්දි, බිම ඇති පැරණි වූ කොළ තට්ටු වලට අනුව ඉහළ බැලූ විට වසර  පන්සියයක් පැරණි ඉතා උස්ව වැඩුණු අඹ ශාක තවමත් විරාජමානව පවතින අයුරු දැකගත හැකිය.

කෙසේ වෙතත් මිනිස් පයකට නොපෑගුණු සොභාවික දිය කඳුරු හැම තැනම ඇත. ‘ ඔතනින් පොඩ්ඩක් දුර ගියාම තමයි අපිට දුම්මල තියෙන හල් ගස් හම්බවෙන්නේ‘ අප ගමන් සගයා වු මද්දු කියා සිටියේය.

ඒ නවය මාර්ගයේ සිට නිකුල කන්ද දෙස බැලු කල වම් පසින් බේලිය කන්දත් දකුණු පසින් කාඩිගලටත් පිටුපසින් මැණික් දෙන රක්ෂිතයත් මායිම් කර ගත් නිකුල කන්ද සෙසු කඳු අතරින් විශේෂිත වන්නේ බෙහෙත් නෙල්ලි,ගොරකා මෙන්ම දුම්මල ද බහුලව පවතින කන්දක් හේතුවෙනි.

අතීතයේ දී ඇටි කෙසෙල්,වල් අන්නාසි,වීර,ඇටඹ,අඹ,පේර වැනි පලතුරු රැසක් ද පැවති බව මද්දු අපට කියද්දි බොහෝ ජන පිරිස්හි ක්‍රියාකාරකම් හේතුවෙන්ම ඉහතින් සඳහන් කළ පලතුරු ශාක වලින් කිහිපයක්  අද වන විට වඳවී තිබේ.

කුරුළු කූජනයන් මැද නිසොල්මනේ ගලා බසින කුඩා දිය කඩිති පසුකර ඉදිරියට ගමන් ගන්නා අපිට අහස සිපගන්නා තරම් උස ඇති හා  පුද්ගලයෙකුට දෑතින් බදාගත නොහැකි තරමේ රූස්ස ගස් විශේෂයක් හමුවිය.

බැලු බැලු තැන ඇති මෙම ගස් විශේෂ හල් ශාක බවත් එම ශාකවල දුම්මල පවතින බවත්, අප ගමන් සගයෝ කියා සිටියහ.

නිකුල කන්දේ (දුම්මරග්ගල) දුම්මල ශාක(හල් ගස්) ව්‍යාප්ත වී  ඇති  අයුරු

ඝන කොළ තට්ටු අතරේ කුඩා දුම්මල කැබලි කිහිපයක් අහුලාගත් මා මිත්‍රයෝ ඒවා දල්වා සුවඳ විහිදෙන අයුරු පෙන්වූහ.

හිතන තරම් සුන්දර නැති මේ ගමනේ දී දුම්මල සෙවීමද පහසු කාර්යයක් නොවන බව ගමන් සගයෝ කියා සිටියහ.

ඊට හේතුව කොළ තට්ටු වලට යටවි සහ රූස්ස ගස් මුදුනේ පවතින දුම්මල කැඩිම පහසු කාර්යයක් නොවන බැවිනි.

කෙසේ වෙතත් අප ගමන් සගයන්ට අනුව වැඩිහිටි පිරිස් අතරින් ඉතා සුළු පිරිසක් මේ වනයට පැමිණ දුම්මල අහුලාගෙන යති.

නිකුල ගමේ වනාන්තරය හුරු පුරුදු පිරිස් හැර ආධුනික පිරිස් හට මේ වනාන්තරය තරණය කිරිම ඉතා අපහසු මෙන්ම වචනයෙන් කිව නොහැකි තරමේ අවදානම් ගමනකි.

ඉහතින් කී පලතුරු සහිත ප්‍රදේශය පලතුරු උයනක් බවත් අනික් පසින් පතන් ආශ්‍රිතව බෙහෙත් නෙල්ලි බහුලව පිහිටීම හා තවත් ප්‍රදේශයක ගොරක ශාක බහුලව පිහිටිම යම් මානව ක්‍රියාකාරකමක ප්‍රතිඑලයක් සේ සිතිය හැකිය.

ගොරක වැනි ශාක මේ අවට කඳු පංති වල නොදැකීම ඊට හේතුව ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙතත් අප ගමන් සගයින්ට අනුව වලගම්බා රජු සැගව සිටි කඳු අතර නිකුල කන්ද ද  එකකි.

එය තහවුරු කිරිම පිණිස මේ ගිරි දුර්ග පිහිටි මගේ අපව තවදුරටත් ඉදිරියට රැගෙන යමින් දිය නෑමට භාවිත කළ පොකුණක් වැනි ස්ථානයක් මෙන්ම ,ගල් වැටි හා ගල් කණු යොදා සැකසු මණ්ඩපයක් වැනි ස්ථානයක් ද ඔවුහු මට පෙන්වූහ.

අතීත ගඩොල් සහ ගල් කණු ඒ අතර විය. ‘ අපි කුඩාකාලේ මෙතෙන්ට එනකොට මේ පොකුණේ වතුර පිරිලා තිබ්බා දැන්නම් පස් වලින් යටවෙලා තියෙන්නේ මෙතන‘ මද්දු සිය හඬ අවදිකළේ නිදන් හොරුන් විසින් සිදුකරන ලද කැනීම් කිහිපයක් ද අපට පෙන්වමිනි.

යාබදින් මැණික් දෙන පුරා විද්‍යා රක්ෂිතය පැවතීමත් එහි භික්ෂුන් වැඩ සිටීමත් නිසා මෙම ස්ථානය පැන් පහසුව සඳහා භාවිත කරන්නට ඇති බවට ද ප්‍රවාද පවතියි.

කෙසේ වෙතත් අහස සිප ගන්නා හල් ශාක සමුහයක් පසුකරමින් අප ඉදිරියටම ගමන් කළ අතර පැහැදිලි ගල් තලාවක් සමීපයට පැමිණියෙමු. එහි දි අංශක 360 සීමාව පහසුවෙන් දැක ගත හැකිවිය.

දහවල් කාලයේ ද ඝන කළුවර පැවතිම හා කොළ තට්ටු කිහිපයක් පොළව මත වැටි තිබිම හේතුවෙන් මේ වනාන්තරයේ ගමන් කිරිම ඉතා අවදානම් කටයුත්තක් බව හැගිණි. කෙසේ වෙතත් අහස සිපගන්නා මේ දුම්මල පවතින හල් ශාක සොයා ආ අවදානම් සහිත ගමන අප නිමා කරන විට පැය අටක පමණ කාලයක් ගත වී තිබිණ.

සොබා දහමේ අපුරු තක්ෂලාවක් වු මේ නිකුල කන්දේ දුම්මල සොයා යන්නන් ඉතා අල්ප පිරිසකි. ඔවුන් කිසි විටකත් පරිසරයට කිසිදු හානියක් සිදුකිරිමට නොපෙලඹෙති. අඩුම තරමේ දිරාගිය දර කැබැල්ලක් පවා වනයෙන් රැගෙන නොයාමට ඔවුහු වගබලා ගනිති.

දිරා ගිය රූස්ස ගස් පොළවටම පස් වී ඇති අයුරු දැකීමෙන්ම එය අපට පසක් විය.

කෙසේ වෙතත් අවසන් වශයෙන් මෙම ඉල්ලීම ද කළ යුතුය. කිසිදු අයුරකින් නිසි මාර්ගෝපදේශකයෙකු නොමැතිව නිකුල පර්වතය තරණය කිරිමට සිතිම පවා නොකළ යුතුය. මන්ද යත් එය එතරම්ම අවදානම් මෙන්ම අතිශය දුෂ්කර ගමනාන්තයකි.

කණගාටුවට කරුණක් වූයේ ඇතැම් ස්ථාන වල හිස් බීර බෝතල් , ගිනි ගොඩවල් ගසා ඉතිරි වු අගුරු සහ දර කොටස් දැක ගත හැකිවීමය.

දැඩි නිහැඬියාවකින් හෙබි නිකුල කන්ද අවලස්සන කරන මෙවැනි ක්‍රියාවන්ගෙන් වළකින ලෙසත් සංචාරක ඔබගෙන් කාරුණිකව අවසන් වශයෙන් ඉල්ලමි.

නිකුල කන්දට යා බදව පිහිටි සුදු කන්දේ සිට වෑ මැඩිල්ල ජලාශය පෙනෙන අයුරු.

                                                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *