ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව අහිංසා ස්මාරකය

සංජීවනී පද්මසේන

මේ අහස ද මේ පොළොව ද මිනිසුන් වන අපට පමණක් උරුමකම් කීමට හැක්කක් නොවේ. මේ සිසිල් වාතය ද ,නැවුම් සුළඟ ද ,සූර්යයාලෝකය සහ සිසිලැති සඳ එළිය ද ,තරු කිරණ ද මිහිමත වෙසෙන සියලුම සතුන් සතු සම්පත් බව මිනිසා අමතක කර බොහෝ කල් ය. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වැනසී යන බොහෝ පාරිසරික සම්පත් සත්ත්ව ජීවිත, තුරුලිය, ජල මූලාශ්‍ර පමණක් නොව නැවුම් වාතය පවා අද අපට අහිමි වී තිබේ.

අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ දෙසූ දහම තුළ පවා සත්ත්ව අවිහිංසාව මූලික පදනමක් ලෙස දේශනා කර ඇති අතර හින්දු, ජෛන අගම්වල පවා සත්ත්ව කරුණාව උසස් කොට සලකයි. තුවක්කුවටම පෙම් බැඳි ඇමරිකානුවන් මෑතකදී සත්ත්ව කරුණාව ලෝකයාට පෙන්වා දුන් අවස්ථාවක් වනුයේ කැලිෆෝනියා මහා ලැව්ගින්නයි. එහිදී ඔවුන් වන සතුන් මෙන්ම ගෘහාශ්‍රිත සතුන්ගේත් ජීවිත රැක ගැනීමට මහා මෙහෙයුමක් දියත් කළේ ලෝකයටම සිය සිත්සතන්හි ඇති සත්ත්ව අනුකම්පාව මැනවින් ප්‍රදර්ශනය කරමිනි. 

එහෙත් බෞද්ධයන් බොහෝ පිරිසක් සිටින අප රටේ කෲර අයුරින් සත්ත්ව ඝාතන සහ හිංසා කිරීම් වාර්තා වීම දිනෙන් දිනම වැඩි වී ඇත. අමානුෂික හිරිහැර හමුවේ ජීවිතය අහිමි වන වන සතුන් මෙන්ම කෲර වදහිංසා වලට දිවි දෙන තවත් සතුන්ගේ ද අඩුවක් නම් නැත. ඒ පිළිබඳ මෑතදී වාර්තා වූ ඇතැම් තොරතුරු සත්ත්වලෝලීන්ගේ නෙතට කඳුලක් නැංවීමට තරම් සානුකම්පිතය. 

මෙකී කරුණු බොහොමයක් හමුවේ ලංකාවේ පිහිටා ඇති ප්‍රථම සහ එකම සත්ත්ව අවිංසා ස්මාරකය පිළිබඳව මදක් විමසා බැලීම කාලෝචිතයයි සිතමි. මෙම ස්මාරකය පිහිටා තිබෙන්නේ පාදෙණිය, අනුරාධපුර පිවිසුම් ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුව, සෙනරත්ගම, පුලංචිය වැව අසබඩ පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේය.

අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුභසාධක සංවිධානය මඟින් ඉදිකොට ගල්ගමුව ප්‍රාදේශීය සභාවට භාරදී ඇති මෙම ස්මාරකයේ නඩත්තු කටයුතු මුළුමනින්ම ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලබයි. මේ වන විට එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය නොමදව ලබා ගත් ස්ථානයක් වන අතර පාදෙණිය, අනුරාධපුර මාර්ගයේ වන්දනාගමන් යන වන්දනාකරුවන් ඇතුලු මගී ජනතාව මෙය දැක බලා ගැනීමටත් ගිමන්හල පාරිසරික උද්‍යානයේ විවේක සුවය විඳ පරිසර සුන්දරත්වය විඳීමටත් පැමිණෙති. 

මෙම ස්මාරකය තනා ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රචලිත හස්තිරාජයන් දෙදෙනෙකු වන සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවාගේ පිළිරූ දෙකකිනි. එමෙන්ම එහි පක්ෂි, උරග සහ මත්ස්‍ය කැටයම් ද දැකගත හැක. චිත්‍ර කලා ගුරු උපදේශක ජේ.රත්නායක ශූරීන් විසින් පරිඝනක මෘදුකාංග උපයෝගී කරගෙන එම හස්තීන්ගේ සජීවී මිනුම් දඬු ලබා ගෙන මෙම විස්මිත නිර්මාණය බිහි කර තිබේ. දෙදහස් දහ නමය පෙබරවාරි මස මුල් ගල තබා ආරම්භ කළ මෙම ස්මාරකය මේ වන විට බොහෝ ආකර්ශනයට ලක් වූ තැනක් බවට පත් වී තිබේ.

සියඹලන්ගමුව  ඇතා

මෙම ස්මාරකයේ සිටින සියඹලන්ගමුවේ ඇතා ගල්ගමුව, සියඹලන්ගමුව, කෝන්වැව, මහගල්ගමුව ආදී ප්‍රදේශවල සැරි සරමින් ප්‍රදේශවාසීන්ගේ නොමද ආදරය දිනූ හස්ති රාජයෙකි. උසින් අඩි අටේ සිට දොළහ දක්වා පමණ වූ මෙම හස්තියාගේ දළ යුවල අඩි පහක් පමණ දිගය. වන ඇතෙකු වුවද ප්‍රදේශවාසීන්ගේ නොමද ආදරය දිනූ මෙම ඇතා ඇතැම් අසංවේදී මිනිසුන්ගේ කුරිරුකම් හමුවේ කලහකාරී තත්ත්වයට පත් වී ඇති අතර එක් මනුෂ්‍ය ඝාතනයක් ද සිදු කර තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෙන් මෙම හස්තියා උඩවලව ජාතික වනෝද්‍යානයට ප්‍රවාහනය කිරීමට යාමේදී ලොරි තට්ටුව කඩා වැටීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස  ඔහු මිය ගියේය. මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම ඇත් මරණය මරණ පරීක්ෂණයේදී හදිසි අනතුරක් බවට තහවුරු කිරීමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රදේශවාසීන් එක්ව සියලු ආගමික වතාවත් සහිතව මිහිදන් කළේ දෙනෙත් පුරා නැගුණු කඳුළැල් මතිනි. 

අනෙක් සද්දන්තයා ද එවැනිම අමානුෂික මරණයකට හිමිකම් කියන ලද්දේ දෙදහස් දාහත වසරේදීය. එම වසරේ නොවැම්බර් විසි නව වන දින කහල්ල, පල්ලකැළේ අභයභූමියට ආසන්න තිබ්බටුවැව ප්‍රදේශයේ දී හමුවූ දළ ඇත් මළ සිරුරක  නොවැම්බර් තිස් වනදා කරන ලද මරණ පරීක්ෂණයෙන් දළ පූට්ටුවාගේ බවට තහවුරු කෙරුණි. මෙම සත්ත්වයාත් බොහෝ ප්‍රදේශවාසීන්  ආදරය කළ වන ඇතෙක් බැවින් එම ඇත් සිරුර ද ආගමික කටයුතු මැද මිහිදන් කෙරුණු අතර විහාරස්ථාන රාශියකම ඇතා වෙනුවෙන් ආගමික කටයුතු හා වතාවත් සිදු කෙරුණි. එමෙන්ම මෙයට සම්බන්ධ ඇත්දළ ජාවාරම්කරුවන් ද නීතියේ රැහැනට හසුවූ බව වාර්තා වී තිබේ.

දළ පූට්ටුවා

ඉඳින් මේ ස්මාරකය ඉදිවී ඇත්තේ මේ මිහිතලය මිනිස්, තිරිසන් සැමගේ සම උරුමයක්‍ ය යන ස්වභාවික යුක්තිය පදනම් කරගෙන වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව අහිංසා ස්මාරකය කිසිදු ආගම් භේදයකින් තොරව හුදෙක් සත්ත්ව අවිහිංසාව අගයන සියලු ජාතීන්ට පොදු උරුමයක් ලෙස සමාජගත කරවිය යුතුය. 

සත්ත්ව අවිහිංසාව පිළිබඳ පරමාදර්ශයක් වූ අප බෞද්ධ ප්‍රජාවේ බොහෝ දෙනෙකු වසරේ ඔක්තෝබර් හතර වන දින ලෝක සත්ත්ව දිනයයැයි ප්‍රකාශයට පත්වී ඇති බවවත් දන්නවාදැයි සැක සහිතය. මහින්දාගමනයේදී මුවෙකුට අභයදානය දීමෙන් පටන් ගත් සත්ත්ව අවිහිංසාව ප්‍රවර්ධනය වනවා වෙනුවට සත්ත්ව හිංසාව ප්‍රවර්ධනය වීම ඛේදනීය කරුණකි. 

ඔබ පාදෙණිය, අනුරාධපුර මාර්ගයේ ගමන් කරන්නෙක් නම් මදකට නැවතී මෙම ස්මාරකය නරඹා ගිමන්හල පාරිසරික උද්‍යානයේ සුන්දරත්වය විඳ සතුටු සිත් ඇතිව සත්ත්ව කරුණාවෙන් සිත් සතන් පුරවා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

එමෙන්ම ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ එහි සදාචාර සංවර්ධනය විනිශ්චය කළ හැක්කේ එහි සතුන්‍ට සළකන ආකාරය අනුව බව ශ්‍රේෂ්ඨතම අවිහිංසාවාදියෙකු වන මහත්මා ගාන්ධීතුමන් ප්‍රකාශ කර ඇති වැකිය සිතට ගන්නා ලෙස මෙන්ම සතුන්ට සැළකීම අභයදානය දීම සහ සුරක්ෂිතභාවය සැළසීම දස රාජ ධර්මයේ ද සඳහන් කරුණක් බව සටහන් කර තබමි.

ස්මාරකය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *