මොහොමඩ් ආසික්

කටුගස්තොට වත්තේගම මාර්ගයේ නවයාලතැන්න ප්රදේශයේ මහවැලි ගඟ සහ ප්රධාන මාර්ගය අතර වළ දමා තිබූ කේ.අයි.එම් (KIM) වර්ගයේ ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් කටුගස්තොට පොලීසිය මගින් අද 28 වනදා පෙරවරුවේ සොයා ගෙන තිබේ.
රාජ්ය බුද්ධි සේවයේ කටුගස්තොට පොලිසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයේ පරීක්ෂණයක් පවත්වා මෙම පිස්තෝලය සොයා ගෙන තිබේ.
මිලි මීටර් අටක පිස්තෝලයක් වන මෙම පිස්තෝලය භාවිතා කළ හැකි ඉතා හොඳ මට්ටමේ පවතින එකක් බවත් ඉතා මෑතකදී මෙය මෙම ස්ථානයේ වළ දමන්නට ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
මෙම පිස්තෝලය යම් අපරාධයක් සඳහා භාවිතා කිරිම සඳහා වළ දමා ඇත්ද යන්න පිළිබඳවත් පොලීසියේ අවධානය යොමු වී තිබේ.
මෙම පිස්තෝලය මෙම ස්ථානයේ වළ දමා ඇත්තේ කවුද යන්න සෙවීම සඳහා අසල සහ ප්රධාන මාර්ගයේ සීසීටීවී දර්ශණ මෙන්ම අනෙකුත් සාක්ෂි උපයෝගී කර ගෙන කටුගස්තොට පොලීසිය අංශ කිහිපයකින් පරික්ෂණ ආරම්භ කර තිබේ.
රාජ්ය බුද්ධි සේවයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්.සී.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා සමඟ උප පොලිස් පරීක්ෂක කුමාරසිරි, සැරයන් 7579 මහේෂ්, පොකො 103976 රණසූරිය , කා.ස. ධර්මරත්න යන මහත්වරුන් මෙම වැටලීම සිදු කළහ.



සොයා ගත් පිස්තෝලය නිලධාරින් පරීක්ෂා කරමින් සහ එය සොයා ගත් ස්ථානය