හිටපු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි වාර්තාව ලබාදීම රජය ප්‍රතික්ෂේප කරයි.

ජනක සුරංග

රට තුළ සිදුවන විවිධ මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින්නේ ඉමහත් කැලඹිලිකාරී තත්ත්වයකි. වර්තමානයේ දී සිදුවන පාතාල ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ නීති විරෝධී ක්‍රියාකාරකම් රැසකට ගිනි අවි ලැබෙන ආකාරය පිළිබඳව තවමත් ඇත්තේ තොරතුරු හෙළිදරව් නොවන තත්ත්වයකි. විශේෂයෙන් අපරාධ ක්‍රියා සඳහා අවි ආයුධ විදේශයන් හි සිට පවා ලැබෙන ආකාරයක් , ඒවා රට තුළ සංසරණය වන ආකාරය පිළිබඳවත් ආරක්ෂක අංශවලට ඇත්තේ බරපතළ ගැටලුකාරී තත්ත්වයක්. ඒ අතරතුර රජයේ ආරක්ෂක අංශ සතු  අවි ආයුධ වලින්ම පුද්ගල ඝාතනයන් රැසක් සිදුවීම ආණ්ඩුවේ ගමනට කළු පැල්ලම් එකතු කර තිබේ. කෙසේ වෙතත් විවිධ දේශපාලඥයන්ට ලබාදී ඇති  ගිනි අවි සම්බන්ධයෙන්ද විටෙක ව්‍යාකූල තත්ත්වයක් පවතින්නේ,විවිධ දේශපාලනඥයන්ටද අපරාධ ආදී චෝදනා එල්ල වන බැවිනි. ඒ එම සිදුවීම් සඳහා මෙම ගිනි අවි සම්බන්ධවීම කෙරෙහිද ජනතාවට සාධාරණ කුතුහලයන් ජනිත වන පසුබිමකය. ඊටත් අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්ගේ විවිධ වරප්‍රසාද පිළිබඳව මහජනතාවට විමසීමට ඇති නෛතික අයිතිය පාදක කර ගනිමින් මෙම තොරතුරු ගවේෂණය කිරීමට රට වැසියාට හිමිකම් ලැබේ. කෙසේ වෙතත්  ලබාගන්නා ගිනි අවි පිළිබඳව හා ඒවා නැවත රජයට භාරදීම සම්බන්ධයෙන් ද පූර්ණ තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා රජය මගින් සිදුකළ තොරතුරු ඉල්ලීමට අදාළව  තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර දැමීමට රජය විසින් තීරණය කරන ලදි. ඒ අනුව, රජයේ ගිනි අවි සංචිතය සතු රහසිගත තොරතුරු (ගිනි අවි හා ගිනි අවි වර්ග පිළිබඳ තොරතුරු) පොදු ජනතාව අතරට යොමුවීම තොරතුරු දැනගැනීමේ පනතේ 5(1) ආ(i) අනුව, ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතියක් වන බැවින්ද, 5(1)(අ) අනුව, අදාළ තොරතුරු පෞද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් වන බැවින් ද, පනතේ 5(1) උ අනුව රජයේ ගිනි අවි සංචිතය සතු ගිනි අවි සම්බන්ධ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් භාරකාර සම්බන්ධතාවයක් පැවතීම හේතුවෙන් එම තොරතුරු රහසිගතව තබා ගැනීම අවශ්‍ය වන බැවින්ද පනතේ 5(1) ඌ ii අනුව අදාළ තොරතුරු හෙලිදරව් කිරීම නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාවය හෙලිවන බැවින් ද ඉහත විමසා ඇති තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරුණු දක්වා තිබූ අතර , ඔවුන්ගේ මෙම ස්ථාවරය ශ්‍රී ලංකා තොරතුරු නියාමන කොමිසම ඉදිරියේ ද පිළිගැනීමට ලක් විය.

ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් රහසිගත හා පුද්ගලික තොරතුරු ලෙස තීරණය කරමින් වඩා සංවේදී තොරතුරු කෙරෙහි ප්‍රවේශ වීමට ජනතාවට තවදුරටත් බාධා පවතින බව පෙන්වා දී ඇති නමුත් හිටපු මන්ත්‍රීවරුන් සතුවූ හා ඔවුන් විසින් නැවත රජයට භාරදී ඇති ගිනි අවි සම්බන්ධයෙන් කිසියම් සාධාරණ තොරතුරු ලබාදීමේ ප්‍රවේශයකට අවසර ලබා දීමට හැකියාවක් පවතින බව ජනතාව ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් වී පවතිනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *