පුත්තලම- හිරාන් ප්‍රියංකර ජයසිංහ
“….මගේ මහත්තයා ගිය බෝට්ටුවට අකුණු ගහලා නැහැ,ඒ තියෙන්නේ වෙඩි පාරවල්. අකුණු වැදුනා නම් කිසිම තැනක පිච්චිලා ගිහින් නැහැ අනිත් දෙන්නාට මොනවත් නැතුව එයාට විතරක් අකුණු ගහන්නේ කොහොමද? පොලිසියත් අපිව රවටනවා ….”යැයි මුහුදු ගිය ධීවරයකු ගමන් කළ යාත්‍රාව අකුණු සැරට ලක්විමෙන් පසු ඔහු මුහුදට වැටි අතුරුදහන් වු බව කියන සිද්ධියේ ධීවරයාගේ බිරිද විලාප තබමින් පැවසුවාය.ඇය ඉල්ලන්නේ සිද්ධිය ගැන සාධාරණය ඉටු කරන ලෙසටය.
මෙලෙස අවාසනාවන්ත ලෙස අතුරුදහන් ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව පදිංචිව සිටි ලක්ෂමන් දිසානායක නැමති 40 හැවිරිදි ධීවරයෙකී.

මෙම ධීවරයා 25 දින සවස කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් ඇත්තේ අදාල යාත්‍රාවේ හිමිකරු හා තවත් අයකු සමගින් බව කියයි.කෙසේ වෙතත් එම යාත්‍රාවේ හිමිකරු 25 දින රාත්‍රියේම ආපසු ගොඩ බිමට පැමිණ ඇත්තේ තම යාත්‍රාවට අකුණු සැරක් වැදිමෙන් රැකියාව කරමින් සිටි ලක්ෂමන් මුහුදට වැටි අතුරුදහන් වු බව පවසමිනි.
කෙසේ නමුත් මෙම යාත්‍රා හිමිකරු හා කල්පිටිය පොලිසියේ අදාල පරික්ෂණය භාරව සිටි පොලිස් නිළධාරීයා මෙම සිද්ධිය යටපත් කිරිමට කටයුතු කරන බවත් අදාල ධීවරයාට හෝ යාත්‍රාවට කිසිදු අකුණු සැරක් වැදි නොමැති බවට දැඩි චෝදනා එල්ල වී තිබේ.



මේ වන විට මුහුදේ අතුරුදහන් වි ඇති ධීවරයාගේ බිරිඳ වන 40 හැවිරිදි හපුආරච්චිගේ සිල්වියා මහත්මිය දැඩි වේදනාවකින් මෙසේ පැවසුවාය.
“ 25 හවස එයා මුහුදු යන්න ඇඳුම් දානකොට මම ඇසුවා කාත් එක්කද යන්නේ කියලා.එතකොට ලකි එක්ක යනවා කිව්වා. ඒ වෙලාවේ මම ඇහුවා කවදාවත් නොගිය කෙනෙක් එක්ක ඇයි යන්නේ කියලා.මොකද ඔය මනුස්සයා ජාවාරම් කාරයෙක් කියලා මුළු ගමම දන්න නිසා.
ඒ වුනාට එයා කිව්වා මම ගිහින් එන්නම්කෝ කියලා.ඉන් පස්සේ මම මොනවත් කියන්න ගියේ නැහැ.පස්සේ බෝට්ටුව 25 රෑ වෙද්දි ගොඩට ඇවිත් තිබුණා.ඇවිත් අපිට පණිවිඩ එව්වා; බෝට්ටුවට අකුණක් ගහලා ලක්ෂමන්ට වැදිලා මුහුදට වැටුණා කියලා.
පස්සේ 26 උදේම ගමේ අය බෝට්ටුව බලන්න ගියා මමයි, දරුවෝ දෙන්නයිත් ගියා අපේ සියලු දෙනාම බලලා තේරුම් ගත්තේ අකුණු කථාව බොරු මේ මුහුදේදි කවුරු හරි වෙඩි තියලා කියලා.
මොකද ඔය බෝට්ටුකාරයා ජාවාරම් කාරයෙක් . මුහුදෙදි මොනා හරි වෙලා ඉන්දියන් බෝට්ටුවකින් වෙඩි තියන්න ඇති කියලා අපිට විශ්වාසයි.
අනික මගේ මහත්තයාව මුහුදට වැටුනා කිව්වාට හොයන්න ඔය බෝට්ටු කාරයා කිසිම උවමනාවක් තිබුණෙ නැහැ.අපි අහන්නේ ඇයි අර අහිංසකයාව මුහුදේ දාලා ආවේ කියලා.මෙයාලා ලොකු බොරුවක් කරන්නේ. ගොඩට ගෙනාවොත් මේ වුණු අපරාධය එළි වෙන නිසා මුහුදට දාලා ඇවිත්.
බෝට්ටුව දැකපු ගමන් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන දේ. අකුණු ගැහුවා නම් අනිත් දෙන්නාට මොනවත් උනේ නැත්තේ මොකද ?දැල් ආම්පන්න කිසිම දෙයකට හානියක් වෙලා නැහැ.අඩුම තරමින් අකුණක් ගැහුවා නම් දැල් ආම්පන්න පොඩ්ඩක් හරි පිච්චිලා යන්න ඕනා. බෝට්ටුවට වැදුණ වෙඩි නිසා ඇතුලේ තිබුණ ලී පෙට්ටියක් කෑලි කැඩිලා ගිහින් විතරක් තියෙනවා. අපි පොලිස්පතිතුමාට කියන්නේ මේ අපරාධය හොයලා දෙන්න කියලා.
නැත්නම් ජාවාරම්කාරයින් කියන කථා වලින් මේ අහිංසකයාට සාධාරණයක් නැති වෙලා යනවා……”


මේ වන විට මුහුදේ අතුරුදහන් වි ඇති ලක්ෂමන් දිසානායක මහතාගේ වැඩිමහල් දියණිය මෙලෙස පැවසුවාය.
“මගේ තාත්තා අහිංසකයි. එයා සතෙකුටවත් කරදරයක් නැති කෙනෙක්. එදා රස්සාවක් නැති නිසයි ඔය බෝට්ටුකාරයගේ බෝට්ටුවේ ගිහින් තියෙන්නේ. ඒ මිනිස්සු ජාවාරම් වලින් ජීවත් වෙන මිනිස්සු. අපි දන්න විදිහට මුහුදේ ජාවාරම තදින් කරන මනුස්සයෙක්. ඒ අපරාධකාරයින්ට කිසිම හානියක් නැහැ. කිසිම දෙයකට නැති මගේ අහිංසක තාත්තාට ඇයි මෙහෙම වුණේ කියලා අපිට දරා ගන්න බැහැ. ඇත්තටම බෝට්ටුවට අකුණු ගහලා නැහැ. ඒ තියෙන්නේ වෙඩි පාරවල්. හොදට බැළුවම හිතා ගන්න පුළුවන් ඒ මොනවාද කියලා. හරිම දුකයි මගේ තාත්තට කරපු මේ අපරාධයට. අපි කියන්නේ ජනාධිපතිතුමා හරි කවුරු හරි මේ ගැන හොයලා දෙන්න කියලා….”
මේ සිද්ධිය ගැන නම් හෙළි කිරීමට අකමැති වු කන්දකුලියේ අයෙකු පවසා සිටියේ ලක්ෂමන් මුහුදු ගිය යාත්‍රා හිමිකරු මුහුදු කොල්ලකරුවෙකු බවයි. ඔහු ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන රත්‍රන්,කේරළ ගංජා, බිඩි කොළ ඇතුළ විවිධ දෑ එම ඉන්දියන් ධීවර යාත්‍රාවල සිටින ධීවරයින් මහ මුහුද මැදදි බිය වද්දවා ඒවා පැහැර ගෙන විත් අලෙවි කිරීම් වල නිරත අයෙකු බවට ප්‍රසිද්ධ බවයි. මොහුට කල්පිටිය පොලිසිය මගින් දැමු නඩු කිපයක් ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් වයඹ මුහුදු තිරය ජාවාරම්කරුවන් අතට පත්වන්නේ දශකයකට පෙරය. මුහුදු ජාවාරම හේතුවෙන් රට තුළට නීති විරෝධී දෑ නිරන්තරයෙන් පැමිණීම සිදුවේ.
එම ජාවාරම් අතරතුරදී ලක්ෂමන් වැනි අයගේ ජීවිත ද ජාවාරම්කරුවන්ගේ කටයුතු හේතුවෙන් අහිමිවිම බරපතලම ඛේදවාචකයක් වි තිබේ.
ඒ සමගම මෙම කලාපයේ සිදුවන බහුතරයක් ජාවාරම් සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන්ගේ අනුබලය ලබාදීම හේතුවෙන් ඇතැම් ජාවාරම් නැවතීම බරපතළ ගැටලුවක් බවද කියවේ.
