නාඋල – ඉන්දික අරුණ කුමාර

ලොව්තුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවපුරා පැතිර යද්දි, එය වැළඳගත් බොහෝ පිරිස් නිරාමිසය සොයා වෙහෙසෙද්දි , ශ්‍රී ලංකාවේ එකි ධර්මය පිරිහෙද්දි එය නගා සිටුවීම සඳහා කැපකිරිම් කළ යථිවරයානන් වහන්සේලා බොහෝ වෙති.
මේ අතර වර්ථමාණ ශාසනික පුණරුදයේ පුරෝගාමියෙකු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන චරිතාපධානයකි.
ශත වර්ෂ ගණනාවක් පුරා ගොඩනැගුණු සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය මහනුවර රාජ්‍ය සමයේ දී ක්‍රමිකව බිද වැටිණි.
බුදු දහම යටකොට දේව සංකල්පය පැතිරිණි..භික්ෂු ශාසනය පිරිහි ගනින්නාන්සේලා පන්සල් වල පවුල් ජිවිත ගතකළහ.
භික්ෂුත්වය කහ රෙදි කඩකට පමණක් සිමා වූ යුගයක් නිර්මාණය විය.
එම තත්ත්වයෙන් ශාසනය මුදවාගැනීමේ අරමුණින් මෙරට බෞද්ධ අධ්‍යාපනය සුරක්ෂිත කිරිමේ කාර්යභාරය ඉටුකරන ලද්දේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසිනි.
මහනුවර සූරියගොඩ විහාරය මුල්කොට උන්වහන්සේගේ සේවය රට පුරා ව්‍යාප්තව පැවතිනි.
අගනා ශාස්ත්‍රීය හා ආගමික ග්‍රන්ථ රැසක් රචනා කළ උන්වහන්සේ මෙරට උපසම්පදා පුණ්‍යයකර්මය නැවත ඇති කිරිමේ පූරෝගාමී මෙහෙවරට උරදුන්නේය.
මහනුවර තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුංග මුදලි ට දාව කුලතුංග බණ්ඩා කුමරු මෙලොව එළි දැක ඇත්තේ ll වන විමලධර්මසූරිය (1687-1706) රජතුමාගේ කාලයේ දී වැලිවිට වත්තේ වලව්වේ දීය. එරමුදුලියද්දේ උපාසක රාළ ගෙන් සහ මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුතුමා ගෙන් හෙතෙම බාල වියේ අකුරු උගෙන ඇත. කුලතුංග බණ්ඩා කුමරු රාජ සේවයට යොමු කිරීම දෙමාපියන්ගේ අභිලාශය වුවද ඔහුගේ මනාපය තිබුනේ මහණ කමටයි. බාල වියේදී මේ කුමරු තම මෑණියන්ගෙන් කුඩා මැටි වළඳක් ලබාගෙන භික්ෂූන් වහන්සේලා පිඩු සිගා යන ආකාරයෙන් ඇවිද, ඉන්පසු තම මෑණියන් ලවා ඊට ආහාර බෙදා ගෙන, නිවස අසළ වූ ගල්තලාවකට ගොස් අනුභව කිරීමේ පුරුද්දක් තිබූ බව සඳහන් වේ. මෙකල භික්ෂුන් වහන්සේ පිඬු සිඟා වඩින සිරිතක් නොවූ බැවින් මේ පුරුද්ද මේ පින්වත් කුමරාට සසර පුරුද්දෙන්ම ලැබුණක් බව සිතිය හැක.
1698 -ජුනි 18 වැනි දින තුම්පනේ වැලිවිට දි උපත ලද උන්වහන්සේ පැවිදි දිවියට එළඹෙන්නේ 1714 වසරේ දීය.
ඒ සුරියගොඩ විහාරවාසි සූරියගොඩ ස්වාමීන් වහන්සේ හෙවත් කිත්සිරිමෙවන් රාජසුන්දර මාහිමියන් වහන්සේ ඇසුරේය.
උන්වහන්සේගේ විස්තර ඇතුළත් පද්‍ය,ගද්‍ය පොත පත රාශියක් පළවි ඇත්තේ සංඝරාජ මාහිමියන් ශ්‍රී ලාංකීය ශාසන වංශකතාවේ අසිරිමත් තෙර නමක් වූ බැවිනි.
සරණන්කර සාමණේර හිමි පැවිදිව සුළු කලෙකින් සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමි රාජ උදහසට ලක්ව මරණ දඬුවමට ලක් විය. මේ නිසා ධර්ම ශාස්ත්‍ර හැදෑරීමට උන්වහන්සේට ගුරු හිමි කෙනෙක් නැති විය. මෙකල සසුන බෙහෙවින් පිරිහී තිබූ බැවින් ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය ලැබීමට පහසු මං නොවීය. ගුරුවරුන් සොයා ඇවිද ගිය උන් වහන්සේට පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති ලෙව්කේ රාළහාමි හමු විය. උන් වහන්සේ ඔහු ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය උගත්තේය. ඉන් පසු පෝයමළු විහාරයේ වැඩ විසූ, වටපුළුවේ සාමණේර හිමි ගේ ශිෂ්‍ය, පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර හිමි ගෙන් සමාස කාණ්ඩය උගත්තේය. මේ කාලයේ ලෙව්කේ රාළහාමිද රාජ උදහසට ලක්ව මාකෙහෙල්වල ගමේ නිවාස බන්ධනයට ලක් කොට තිබූ නිසා සරණංකර සාමණේර හිමියෝ ඊට නුදුරු අලගල්ල කන්දේ පිහිටි ගල් ලෙනක දුෂ්කර තත්වයන් යටතේ වැඩ විසූ බව ඉතිහාසගත ලේඛන වල සඳහන් වේ. පිණ්ඩපාතයෙන්ම යැපුණු නිසා “පිණ්ඩපාතික” නම උන්වහන්සේගේ නමට එක් විය.
මෙම ලිපියට මුල් වු ලග්ගල ගමනේ යෙදෙනුයේ උන්වහන්සේ සහ නරේන්ද්‍ර සිංහ රජු අතර ඇති වන මත ගැටුමකින් පසුව සරණංකර හිමි ඇතුළු පිරිසක් ලග්ගල ට පිටුවහල් කිරිමේ සිද්ධියක් පිළිබදව ඇති සඳහනකට අනුවය.
ඒ පිළිබඳ වු අපුරු ස්ථාන වෙත Truthlk පාඨක ඔබ කැන්දාගෙන යාමට පෙර ලග්ගල පිහිටි සුන්දර නකල්ස් වන පෙත සම්බන්ධයෙන් ද යමක් මෙහිලා සටහන් කළයුතු බව හැඟීයයි.
නකල්ස් කඳුවැටිය මධ්‍යම පළාතේ, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පිහිටා ඇති අති සුන්දර කඳු පංතියකි.
මෙම කදුපංතියට එහි නම ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිට බලන විට මෙය මිටමොලවන ලද අතක ස්වභාවය ගත් ( ‘නකල්’ ලෙස පිහිටා ඇති) කඳු මුදුන් කිහිපයක් නිසාය. මුල් බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මෙම නම පවරන ලද අතර, සිංහල වැසියන් සම්ප්‍රදායිකව මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ මීදුමෙන් පිරුණු කඳුවැටිය යන අර්ථය ඇති ‘දුම්බර කඳුවැටිය‘ යනුවෙනි.

නකල්ස් කඳුවැටියේ මීටර් 1,200 (අඩි 4,000) ට වැඩි කඳු මුදුන් නවයක් ඇත. මෙහි උසම කඳු මුදුන “ගොම්බනියා”(1906m/6248ft) වේ. නකල් හැඩැති කඳු මුදුන් පහෙන් උසම ස්ථානය මීටර් 1864 වන අතර නකල්ස්-කිරිගල්පොත්ත මීටර් 1647 ද, අලියවැටුනඇල 1647m, දුම්බානාගල 1644m, යකුන්ගෙගල 1586m, දෝතලුගල 1575m, වමාරපුගල 1559m, කොබොනීලගල 1555m, කලුපහන (තුන්තිස්ගල) 1628m, රිලගල 1605m, තෙලඹුගල 1331m, නවනගල (1488m), ලකේගල 1310m, මරතුවෙගල 1190m, බාලගිරිය 1148m, වෙලන්ගල 1180m, ලහුමනගල 1114m, කිනිහිරිගල 1068m, සහ ලුනුමැදල්ල 1060m අනෙකුත් කඳු මුදුන් වේ.
නකල්ස් වනාන්තරය වටා පිහිටි පරිවාරක ප්‍රදේශයේ හා අභ්‍යන්තරය තුල පිහිටි ගම්මාන සංඛ්‍යාව 40ක් පමණ වන අතර මීමුරේ, රණමුරේ, කයිකාවල, කළුපහන ආදී ගම්මාන ඒවා අතර වේ. සාම්ප්‍රදායික ලෙස ගොම මැටි පිරිමැද සකස් කරන ලද ගෙවල් මණ්ඩි ද, ගල්වැටි තාප්ප මගින් වෙන් කරන ලද පුද්ගලික ඉඩම් ද මෙම ගම්මාන වල අදටත් දැකිය හැකි වැදගත් සාමාජීය ලක්ෂණ වේ. (ඇතැම් නිවාස මේ වන විටත් නවීකරණය වී තිබේ)
මෙම ගම්වාසීන් ජීවනෝපාය ලෙස හේන් ගොවිතැන, කරඳමුංගු හෙවත් එනසාල් වගාව, කිතුල් මැදීම, වී ගොවිතැන ආදිය අතීතයේ දී සිදුකර තිබේ. මෙම ගම්මාන ඉතා දුෂ්කර වන අතර දුරකතන පහසුකම් හෝ මාර්ග පහසුකම්ද ඉතා අල්පය.
වැලිවිට අසරණ සරණ සරණංකර සාමනේර හිමි විසින් සිල්වත් සමාගම පිහිටුවා පිණ්ඩපාතයෙන් යැපෙමින් ශාසනික ප්‍රතිපදාවන් පිළිපදිමින් යළිත් සැබැ ශාසනයක් රටතුළ ඇති කිරිමට උත්සහා ගනිද්දි එවක උභය විහාර වාසි ගණින්නාන්සේලා ඊට විරුද්ධ වූහ. ඔවුහු රජුට කේලාම් කීහ. එසේම රජු වටා සිටි ගොන්සාල් වෙස් වැනි බටහිර ජාතිකයන්ගේ බලපෑමද ඊට අනුබලයක් වී තිබිණි.
අවසානයේ රජු විසින් සරණංකර හිමි ඇතුළු පිරිස ලග්ගලට පිටුවහල් කර ඇත.
මහනුවර ඔස්සේ අතිශ්‍යය දුෂ්කර වනගත ගමනකින් පසු එම පිරිස වර්තමාන ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ ලග්ගල – උඩසිය ගම් ප්‍රදේශයට වැඩම කොට ඇත.
මාතලේ සිට ලග්ගල මාර්ගයේ කිලෝ මීටර් 35 ක් පමණ ගිය තැන හමුවන ගම්මානය වර්තමානයේ පවා හැදින්වෙන්නේ ‘ පිටවල“ නමිනි.
ඒ අසලම ඇති රත්නින්ද ගම සංඝරාජ මාහිමිටත් පිරිසටත් එකල උවටැන් කළ පිරිසටත් නින්දගම් ලෙස ලබාදී තිබේ.
අද එය දුම්බර වන පෙතට මායිම් වූ සුන්දර ගම්මානයකි.
මහනුවරින් පිටුවල් කල සංඝරාජ මාහිමියන් ඇටැන්වල ගම්මානයේ කැලෑ බද ගල්ලෙනක පළමුව වාසය කර ඇත.
එය දුටු ගැමියෙකු මාහිමි සිය නිවසට කැඳවාගෙන ගොස් නවාතැන් සලස්වා ඇත.
එදා සිට අද දක්වාම එය පන්සලේ ගෙදර නම්විය. එකි වාසගම සහිත ඇත්තෝ අදත් ලග්ගලත් ඉන් ඔබ්බත් වාසය කරති.
ඇටැන්වල ගැමියෝ අදටත්, සරණංකර මාහිමියන් වැඩ සිට වසර 300 ක් ගත වුවද, උන්වහන්සේ ඇසුරු කල ස්ථාන වලට ගෞරව දක්වති.
‘ උන්වහන්සේ දියනෑ වල ‘ ‘උන්වහන්සේ වැඩසිටි ලෙන‘ ‘ උන්වහන්සේ වැඩසිටි ගෙදර ‘ ආදී දේ ඔවුන්ගේ කතාබහ තුළ සුලභය.
අප හා ගමනට එක්වු සංඝරාජ හිමි සම්බන්ධයෙන් කලක් තිස්සේ ගවේෂණයක නිරත පරිසරවේදීයෙකු වන නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේ මෙවැන්නකි.
‘මේ ගම්මානය රාවනා කලේ තමයි ඇරඹිලා තියෙන්නේ දැන් හරි සංඝරාජ මාහිමිගේ චරිතයට වැදගත් වන තැන් ගැන හොයලා බලලා රටට හෙළි කරනවා නම් ඒක හරිම වටිනවා.‘
පසුව අපට උන්වහන්සේ දිය නෑ ස්ථානයත්, දිවා විහරණය කළ ගල් ගුහාවත් දැකගත හැකිවිය.
එය පිහිටා ඇත්තේ දුම්බර වන පෙතත් කිරිගල් පොත්ත කඳු මතින් පැන නගින තෙල්ගමු ඔයේ ඉහත්තෑවේය.

‘මෙතන තමයි උන්වහන්සේ දිය නෑ ස්ථානය.‘
මෙය ළගම තියෙන්නේ දිවා විහරණය කළ ගල් කුහරය ඒක හරිම අපූරු තැනැක්.
ගැමියෝ මෙතනට උන්වහන්සේට දාන මාන එහෙමත් ගෙනත් දීලා තියෙනවා.‘
ආනන්ද මහතා විස්තර කළේය.
‘මේ කදුයාය මැද තමයි තිබුනේ වල්පොලමුල්ල කියන පැරණි ගම ඒක 2011 අවුරුද්දේ ඇවිරුනා(මිනිසුන් ගම අතහැර ගියා) වල්පොල මුල්ලේ හිටියා මාපාහාමි කියලා කෙනෙක් එයත් නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ එක්ක ඉන්න බැරිවයි ගම් වැදිලා හිටියේ ඒ මග ඔස්සේ තමයි වැලිවිට සරණංකර හිමියනුත් මේ පළාතට ඇවිත් තියෙන්නේ‘ හේ වැඩිදුරටත් කියා සිටියේය.
තෙල්ගමු ඔය දිගේ පහළට පැමිණි කල වැද්දා පැණි ඇල්ල නම්වු අතිශය සුන්දර දියඇල්ලක් හමුවේ. ඒ අසලම ඇති ගල්කුළු කිහිපයකින් යුතු ස්ථානය සංඝරාජ හිමියන් නිතර රැදි සිටි භූමි භාගය බැව් අපට පෙන්වා දුන්නේ ආනන්ද කනහැර ආරච්චි මහතාය.

එතැන් සිට මෑතක වැඩිදියුණු කළ කුඩා මංපෙත ඔස්සේ රළු නැග්මකින් අනතුරුව රත්නින්ද ගමට ළඟා විය හැකිය.
එහි වූ පටු පාරවල් ද දැන් දැන් සිමෙන්ති කැට වලින් සැකසී තිබේ.
ඒ ඔස්සේ මද දුරක් ගිය තැන ඉපැරණි ගම්මැද්ද හමුවෙයි.
ආනන්ද මහතාගේ කැඳවීමෙන් ඒ අවට ගම්වැසි ඥාතීන් කිහිප දෙනෙකුම මුණ ගැසීමට අපට හැකිවිය.
‘මෙන්න මෙතන තමයි පන්සලේ ගෙදර තිබුණේ. සරණංකර හාමුදුරුවෝ ලග්ගලට ඇවිත් මුල් කාලේ කැළෑවේ ගල්ලෙන් වලයි වාසය කරලා තියෙන්නේ. මේ පැත්ත වැස්ස සුළග සතා සරුපයා වගේම ඇගහීගඩු පිපෙන සීතලෙන් මාස කිහිපයක්ම පවතිනවා.‘
ඉතින් මේ ගෙදර හිටිය මාමා කෙනෙක් තමයි කැලේ හිටපු හාමුදුවෝ මෙහෙ එක්කරගෙන ඇවිල්ල ආවතේව කරලා තියෙන්නේ. දැනුත් මේක පන්සලේ ගෙදර . ඒ වාසගම තියෙන අයත් බොහොමයක් ඉන්නවා.
මේවා අපේ අප්පචිචිලා ,ආතලා අපිට ඒකාලේ කියලා දීලා තියෙනවා. ගමනට එක්වු ගැමියන් මහත් සතුටින් සිහිපත් කරමින් අපි මුලින් සොයාගත් කරුණු තහවුරු කළහ.
රත්නින්දේ ඒකනායක,පි.පි. කළුබණ්ඩා,ඩබිලිව්.ජි.දිසානායක යන ඔවුහු අපට මහා ලෙන්ගතු කමකින් කරුණු කියා පෑහ.
අනතුරුව මාහිමි සහ ඒ සමග පැමිණි සාමණේර හිමිවරුන් වරින් වර වැඩසිටි ගල් ලෙන් කිහිපයක් නැරඹිම අපගේ අපේක්ෂාව විය.
ඒ ගමනට වල්පොල මුල්ලේ පදිංචි කරුවෙකු ද වර්තමානයේ ගුරුභවතෙකු වන වල්පොල මුල්ලේ දසනායක මහතාද එක්විය. එයද දුෂ්කර ගිරදුර්ඝ තරණයකි.
පිටවලත්, රත්නින්ද ගම්මානයත් හමුවන මායිමේ වූ රුදුරු බෑවුමකට යාබදව තිබු ගල්ලෙන් සියල්ල දැකගැනීමට අපට හැකිවිය.
‘ආදී කාලේ මේ පළාතේ ආදීවාසින් වාසය කරළා තියෙනවා. මේ ගල්ලෙන් සියල්ල ඒ අයයි මුලින්ම හොයාගන්න ඇත්තේ. වැද්දෑ පැණිඇල්ල කියන්නෙත් වැදි තරුණයෙකු මී පැණි කදක් අරගෙන එනවිට දිය ඇල්ලට වැටිලා මැරූණ නිසාලු. ඇටැන්වල කියන්නේ වැද්දන් කාපු ඇටකටු තිබුණ නිසාලු.‘

දසනායක මහතා ඒ පළාත ගැන තවත් තොරතුරු අප ට කියා දුන්නේය. සරණංකර හිමිගේ ශාස්ත්‍රිය හා ආගමික සේවාවන් වැඩිදියුණු වන්නේත් උපසම්පදාව මෙරටට ලැබෙන්නේත් සංඝරාජ පදවිය මෙන්ම රජගුරු පදවිය හිමිවන්නේත් ලග්ගල අවධියෙන් පසුවය.
ඊට මග පැදුණු කතා පුවත ද අපුරු එකකි.
ඉතිහාස ගත කරුණු වලට අනුව ඉන්දීයාවෙන් පැමිණි ආඬි ගුරෙකු සරළ සංස්කෘත ස්ලෝකයක් නරේන්ද්‍ර සිංහ රජුට ඉදිරිපත් කොට මෙය තෝරාදීමට සමතෙක් වේනම් ඉදිරිපත් කරන්නැයි අභියෝග කර ඇත.
රජ ඒ සඳහා සුදුසු උගතෙකු සොයා මහත් වෙහෙසක් වී තිබේ. එහෙත් අවසානයේ එතරම් දෙයක් හෝ දන්නා අයෙක් නොමැති බව දැන කනස්සල්ලෙන් සිට ඇති මොහොතක එම ස්ලෝකය විස්තර කළ හැකි එකම තැනැත්තා සරණංකර හිමි බවට තොරතුරු රජුට සැලවී තිබේ.
රජුගේ ඇරයුමෙන් මගුල් මඩුවට පැමිණි සරණංකර සාමනේර හිමි එය විසඳා දී ඇත.
ඉන් අසීමිතව පැහැදුණු රජතුමා සරණංකර හිමිගේ සේවය වෙනුවෙන් උන්වහන්සේගේ ශාස්ත්‍රීය හා ශාසනික සේවය සඳහා නොමද සහාය දක්වා ඇත.
අනතුරුව රජ පැමිණි විජය රාජසිංහ රජු මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ද ආශිර්වාදයෙන් මෙරට නැවත භික්ෂු ශාසනය නගාසිටුවා ලු උන්වහන්සේ පොත්පත් රැසක් රචනා කරමින් ද පොත්පත් සිය ගණනක් රචනා කිරිමට සමකාලීන උගත් භික්ෂු සංඝයා වෙත හා උගතුන්ට පවරමින් ද විශාල සේවයක් සිදුකරණ ලදහ.
ඒ සියල්ල සඳහා ලග්ගල ගතකළ කෙටි කාලය තුළ උන්වහන්සේ අත්පත් කරගත් චිත්ත ධෛර්යය,පාරිසරික විමුක්කිතය මෙන්ම ලග්ගල ගැමියන් ගෙන් ලද අප්‍රමාණ ගෞරව භක්තියද ඇප උපස්ථාන ද ඉවහල් වූවාට සැක නැත.
ගහකොළ ,ඇලදොළ, කදු වැටි, ගල්ලෙන් හා නාම මාත්‍රික සිහිවටන හැර අන්කිසිදු සාධකයක් අද වන විට උන්වහන්සේ සම්බන්ධයෙන් ලග්ගල නැතත් ලග්ගල ඇත්තන්ගේ ජනශ්‍රැති,ජන කවි හා ජනමතක අතර උන්වහන්සේ පිළිබද අප්‍රමාණ මතක සටහන් රැසක් තැන්පත් වී ඇති බව ලග්ගල ගමනින් අපට හොදටම පසක් විය.
සියම් දේශයෙන් පැවිදි උපසම්පදාව මෙරටට ගෙන ඒමේ මහා සද්කාර්යය ඇතුළු ශාසනික සේවාවන් ගැන පැහැදුනු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නස් පත්‍රයකින් ශ්‍රී පාදස්ථානය පවා උන්වහන්සේට පුජා කළ බව පොතපතේ සඳහන්ය.
වර්තමාන ලෝකයේ ථේයරවාදි බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ලබා ඇති කීර්ති නාමය පසුපස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන්ගේ දායකත්වය අපිරිමිත භක්ත්‍යාධරයෙන් සඳහන් වනු ඇත. උන්වහන්සේගේ චරිතය හා සබැඳි බොහෝ තොරතුරු සුරියගොඩ පන්සලේ මෙන්ම පොත්පත් රැසකද සනිටුහන් වී තිබේ. ඒඅතර සඳහන් වන ලග්ගල ගතකල සමය පිළිබද තොරතුරු සොයා යෑම, සියම් රටෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා ගතවු කාලයත් මේ වන විට ශ්‍රී ලංකා ද්විපයේ ඇතිවී ඇති සම්බුද්ධ ප්‍රබෝධත් ගත්කළ ඒ සඳහා යම්තරමකින් හෝ දායකත්වය ලබාදුන් ලග්ගල පැරැණ්නෝද පැසසිය යුතු පිරිස්ම වන්නෝය.
මෙම ගමනේ දී අතීත අභිමානවත් යථිවරයාණන් වහන්සේ නමක් පිළිබඳ කතා පුවත පිළිබඳව අපට මග කියාදුන් ඇටැන්වල ගම් වැසියන්ට හා අතීත තොරතුරු හා ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් පරිසරවේදී ආනන්ද කනහැර ආරච්චි සිරිමතුන්ට අපගේ ස්තුතිය හිමිවේ.