වසර දහසයකට පසු දළදා ප්‍රදර්ශනයක්

 

නිමල් කොළඹිස්ස – මහනුවර

 

වසර 16කට පසුව ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට දළදා වහන්සේ ප්‍රදර්ශනයක් පවත්වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිදෙනමගෙන් ඉල්ලීම් කළ බව ද ඒ මහතා පැවසුවේය.

මහනුවරට පැමිණි ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිච්ච මල් වට්ටියක් ලබාදී ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක සාකච්ඡාවක නිරතවිය.

ජනපතිවරයා ඉන්පසු අස්ගිරි මහා විහාරයට පැමිණ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි ප්‍රධාන එම මහා විහාරයේ අනුනායක, ලේඛකාධිකාරි හිමි ඇතුලු මහා සංඝරත්නය සමඟ සාකච්ඡාවේ නිතරවිය.

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් අනතුරුව දළදා ප්‍රදර්ශනය පැවැත්විමට එකඟත්වය පළ වූ බව කී ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් දියවඩන නිලමේවරයා, ආණ්ඩුකාරවරයා ද  මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරි වැඩකටයුතු කිරීමට ද එකඟ වූ බව කීවේය.

ඉතාමත් යහපත් අය වැයක් ඉදිරිපත් වී ඇති බවත් රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවත් කී ඒ මහතා අය වැය සම්බන්ධයෙන් කිසිවෙකුත් කණස්සල්ලට පත් නොවිය යුතු යැයි ද ඒ මහතා පැවසුවේය.

පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී ඇති නමුත් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව කී ඒ මහතා එය පොදු ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බව ද කීවේය. දීර්ඝ කාලයක් කිස්සේ වර්ධනය වී ඇති මෙම පාතාල කණ්ඩායම් සබඳතා විවිධ ක්ෂේත්‍ර, විවිධ ආයතන කරා ද පැතිර ගොස් ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පාතාල කල්ලි තවත් පාතාල කල්ලි අතර ගැටුමක් ද නැතහොත් මේ පිටුපස වෙනත් කල්ලියක් එය මෙහෙයවනවාද යන සැකය මතුවන බව ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයිද හෙතෙම කීවේය.

විනාශකාරී ජාලයක් බවට පත්වී ඇති පාතාලය මුළුමනින්ම මැඩලීමට තම රජය කටයුතු කරන බවත් පාතාලයට වර්තමානයේදි දේශපාලන රැකවරණ නොමැති නිසා එය මුළුමනින්ම මැඩලීමට හැකිවන බවත් දිසානායක මහතා පැවසුවේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් එම කොමිසම සුදුසු දිනයක් කඩිනමින් ප්‍රකාශ කරනු ඇතැයි ද ජනපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

අස්ගිරි මහ විහාරයේදී පැවැති සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි සහ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ද මහියංගණය රජ මහ විහාරාධිපති පූජ්‍ය උරලෑවත්තේ ධම්මරක්ඛීත හිමි, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය සහභාගීවූහ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *