යුක්තිය වෙනුවෙන් දිළිඳුන්ට සෙවණක්

ජනක බෝකුඹුර


( දිළිඳුබව නීතිය ඉදිරියේ බාධාවක් නොවීමට )

            ❇️Protection of law should be Equal for all

නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ. “… ප්‍රජාව තම මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත කාලය තුළ පුරාම සටන් වැදීමත් , විවිධ අසාධාරණයන්ට හා අභියෝගයන්ට  මුහුණ දීමත් සුලභ කාරණයකී. බාල , තරුණවැඩිහිටි , මහළු ආදී කුමන ජීවන අවධියකට එළඹ සිටියත් ඒ සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියට සහනය පතා පියමන් කිරීමට මහජනතාවට සිදුවේ. නමුත් අප්‍රමාණ ජීවින ගැටලු වලට නිරන්තරයෙන්ම මුහුණදෙමින්, සිය ආර්ථික දුෂ්කරතා නිසා නෛතිකව යුක්තිය දිනා ගැනීමට එම වින්දිත ජනතාවට නොහැකි වේනම් , අප විසින් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ලා සමාජයට පිළිගන්වනු ලබන සංකල්ප ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් පත්කරගන්නේ කෙසේදැයි තවදුරටත් විමසා බැලිය යුතුය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රකාශිත මූලික අයිතිවාසිකම්

විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ එකඟතාව මත පදනම්ව , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද ජනතාවගේ මූලික හා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “3 වන පරිච්ඡේදයේ 10 සිට 14 වන ව්‍යවස්ථාව දක්වා වූ වගන්ති වලින් පුරවැසියාගේ  සිතීමේ , විමසීමේ හා භාෂයේ නිදහස මෙන්ම , තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස , සුදුසු වාසස්ථානයක ජීවත්වීමේ නිදහස ඇතුළුව  නීතිය ඉදිරියේ එක හා සමාන පිළිගැනීමක් සහිතව එනම් සැමට නීතිය රැකවරණය ලැබීමේ අයිතිය සපථ කරමින් අධිකරණය මගින් යුක්තිය ඉටු කරවා ගැනීමේ සර්ව සාධාරණ අවස්ථාවන්ද මනා ලෙස තහවුරු කොට තිබේ. මෙකී වගවීම නිසි පරිදි සිදු කිරීමට මහජන ආණ්ඩුවේ මැදිහත්වීම සඳහා 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් බලගැන්වී ඇති විධිමත් යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පුරවැසියාට හිමිව තිබීම වැදගත් කාරණයකි. එබැවින්, එහි ක්‍රියාකාරීත්වය හා වර්තමාන තත්ත්වය මෙන්ම මහජනතාවට සැලසෙන සේවය හා ඉදිරි අනාගතයේ දී වඩා සාධනීය ඉලක්කයන් ළඟා කර ගැනීම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට සැදී පැහැදී සිටීම ජනතාවගේ වගකීමක් හා අයිතිවාසිකමක්ද වන්නේය.

ශ්‍රී ලංකා නීති අධාර කොමිෂන් සභාව

උද්ගතවන නෛතික ගැටලු සඳහා විශේෂයෙන් , දරිද්‍රතාවයෙන් පෙළෙන , අඩු ආදායම්ලාභී දුගී ජන කොටස් සඳහා නීති සහය ලබාදීම , නීතිඥ උපදෙස් ලබාදීම , නඩු කටයුතු සඳහා පෙනී සිටීමත් , බහුතර මහජනතාව පවත්නා නීති දැනුමෙන් සන්නද්ධ කිරීමත් , ඒ සඳහා නීති සැසි හා වැඩමුළු දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ සිට නව නීති සම්පාදනයනීති ප්‍රතිසංස්කරණ කටයුතුවල දී රජයට විශේෂඥ සහාය ලබාදීම සඳහා සෘජුවම මැදිහත්වීම සිදුකරන පොදු මහජන ආයතනය ලෙසශ්‍රී ලංකා නීතිය ආධාර කොමිෂන් සභාව හැඳින්විය හැකිය. එය වර්තමානය වන විට අධිකරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති අතර ආර්ථික අපහසුතා හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවිෂ්ට වීමට නොහැකිව අසරණ වන ජනතාව හා නීතිය නොදන්නාකමින් යුක්තියේ සාධාරණත්වය නොලබා සිටින සමාජයේ විවිධ තලවල සිටින ජනතාවට ඉන් ඔබ්බට ගොස් නීතියේ පිළිසරණ පිණිස කටයුතු කිරීම සඳහා මිල කළ නොහැකි සේවයක් සලසාලයි. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙසින් ක්‍රියාත්මක වනු ලබන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මුළු සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත වන අතර , ශ්‍රී ලංකා නීතීඥ සංගමය මගින් එහි සාමාජිකයන් 06 දෙනෙකු පත් කරනු ලැබේ.කිසිදු වැටුපක් නොගෙන ගරු කටයුතු සේවයක් ලෙසින් කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සාමාජිකයන් ජනතා සේවයට කැපවීම උත්තරීතර ක්‍රියාවක් ලෙස ප්‍රශංසනීයව සඳහන් කළ යුතුය.

දරුවන්ට හා කාන්තාවන්ට නීතියේ ආරක්ෂාව

වර්තමානය වන විට කොළඹ අලුත්කඩේ පිහිටා ඇති අධිකරණ සංකීර්ණයේ සිය ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති නීති ආධාර කොමිෂන් සභාව විසින් ජාතික වශයෙන් හා කොළඹ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් තම මෙහෙයුම් කටයුතු දියත් කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පුරා විවිධ අධිකරණ ආශ්‍රිත බල ප්‍රදේශවල පිහිටුවා ඇති අනුබද්ධ ශාඛා කාර්‍යාල 85කට ආසන්න ප්‍රමාණයක් තුළින් සිය සේවා අවශ්‍යතා සපුරා ගැනිමට හැකි වන පරිදි ජනතාවට පහසුකම් ද සලසා තිබේ.

කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන වධ හිංසා , හිරිහැර හා විවිධ අපරාධ වල දී යුක්තිය ඉටුකරවා ගැනීමේ නඩු කටයුතු මෙන්ම දරුවන් සමග තනිවන කාන්තාවන්ට අසරණ නොවී ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් කෙරෙහි දැඩි සානුකම්පිතව නඩත්තු හා දික්කසාද නඩු විශාල සංඛ්‍යාවකට නොමිලේම සිය දායකත්වය සැපයීම මගින් නීති ආධාර කොමිෂන් සභාව  සිය සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු ලබයි. දැඩි ආර්ථික අගහිඟකම් වලින් යුතු ඕනෑම අයෙකුට , තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය ඔස්සේ ඒ බව සනාථ කිරීමෙන් , තමන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ නෛතික මැදිහත්වීම සිදුකරගත හැකිය.

2022 වසරට අදාලව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නිල වාර්තා අනුව පුද්ගලයන් 100,000 අධික සංඛ්‍යාවක් සඳහා සෘජු නීති උපදෙස් සහ ආධාර ලබාදී තිබේ. ඒ අතර විශේෂ අවධානයක් යොමු කර ඇති ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා එම ආයතනය විසින් පවත්වා ගෙන යනු ලබන ළමා නඩත්තු නඩු සංඛ්‍යාව 27,675 කි. එය සමස්ත නඩු ප්‍රමාණයෙන් 56% ප්‍රතිශතයක් වීම දරුවන් වෙනුවෙන් ඔවුන් දක්වන සැලකිල්ල පිළිබඳ කියාපානු ලබයි. ද්වේශ සහගත අතහැර යෑම් , නොසලකා හැරීම් හ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ විවිධ අඩම්තේට්ටම් වලට ලක්වන කාන්තාවන්ගේ නඩු 9112 කට එම වසරේ දීම සේවා ප්‍රවිශ්ටය ලබාදී ඇති අතර , විවිධ කාරණා ඔස්සේ නීති ආධාර සැපයූ කාන්තාවන් ගණන 23,802 ක් වේ. එය පුරුෂ පාර්ශවය සඳහා සේවා ප්‍රමුඛතාවය ලබා දිම මෙන් තුන් ගුණයකට වඩා ප්‍රමාණයකි.එනයින් ද තහවුරු කරනු ලබන්නේ කාන්තාවන් සඳහා ඉහළ සැළකිල්ලක් ලබා දීමට නීති ආධාර කොමිෂන් සභාව ක්‍රියා කර ඇති බවයි.ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගෙන ගෘහස්ථ හිංසනය හා විවිධ පීඩාවන් යටතේ යටතේ වින්දිතයන් බවට පත්වන කාන්තාවන්ගේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් මෙලෙස සක්‍රීයව මැදිහත්වීම හිතා හොඳ ප්‍රවණතාවයකි.

ජනතාව වෙනුවෙන් සංවර්ධනාත්මක නීති ආධාර ඒකක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා වඩාත් සාධාරණ වූත් යුක්ති ගරුක වූත් සමාජයක් බිහිකරන්නට ජනතාව නීති දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා පහත සඳහන් සංවර්ධනාත්මක නීති ආධාර ඒකක පිහිටුවා ඇත.

  • මානව හිමිකම් සංසදය හා මානව හිමිකම් පිළිබඳ නීති ඒකකය.
  • අල්ලස හා දූෂණ තුරන් කිරීමේ නීති ඒකකය.
  • විනිශ්චය කාරවරුන්, නීතිඥයින්, ආධුනික නීතිඥවරුන් පුහුණු කිරිමේ ඒකකය
  • ළමා අයිතිවාසිකම් හා පාසල් වැඩසටහන් නීති ඒකකය.
  • පාරිභෝගික නීති ඒකකය
  • ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිම් සම්බන්ධ නීති ඒකකය.
  • වැඩිහිටි නීති ඒකකය
  • අභ්‍යන්තර අවතැන්වූවන් පිළිබඳ නීති ඒකකය
  • විදේශගත ශ්‍රමිකයින් පිළිබඳ නීති එකකය
  • කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ නීති ඒකකය
  • රාජ්‍ය නිලධාරීන් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ නීති ඒකකය
  • කම්කරු හා කාර්මික ආරවුල් පිළිබඳ නීති ඒකකය
  • නීතිමය ලිපි ලේඛන සකස් කරදීමේ ඒකකය
  • මනෝ වෛද්‍ය උපදේශන හා නීති ඒකකය
  • පරිසරය සුරැකීමේ නීති ඒකකය

මීට අමතරව වසරකට වැඩි කාලයක් ඇප ලබා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව නීතීඥ සහාය ලබා ගැනීමට නොහැකිව සිරවී සිටින ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා නොලැබූවන් සඳහා අධිකරණමය වශයෙන් ඉදිරිපත් වී නීති සහන සලසා ගැනීමට ද , හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් තම නිශ්චල දේපලක් ණයක් සඳහා උකස් තබා, උකස් කර හෝ සින්නක්කර ඔප්පු ලියා ඇති අවස්ථාවක එම ණය මුදල ගෙවා ගැනීමට අපහසු වීම නිසා අසාධාරණ ලෙස දේපල අයිතිය ණය හිමියන් ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවන් වලට මෙන්ම ගෙවල් කුලී සමාලෝචන මණ්ඩලය , කම්කරු වන්දි කොමසාරස්තුමාගේ කම්කරු විනිශ්චය සභාව , පරිපාලන අභියාචනා විනිශ්චය සභාව යනාදී විනිශ්චාධිකාරියන්වලදී පෙනී සිටීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය ද නීතිය අවධාර කොමිෂන් සභාව විසින් සපයනු ලැබේ.

යුක්තිය ට පමා නොවෙමු !

සමාජානුගත අයුක්තියේදී ඊට හඬ නැගීම හා වින්දිත ස්වරූපයේ තරම කියාපෑමෙන් ඔබ්බට ගොස් තම ආර්ථික අපහසුතා මත පදනම් කරගත් දරිද්‍රතාවයෙන් නිහඬ භාවයට පත්නොවී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව , ජනතා පරමාධිතයට ගෞරවයක් ලෙස ලබාදී ඇති මෙවන් වූ සැබෑ  මහජන සේවයට පරමාදර්ශ සැපයිය හැකි  ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් පවතින්නාවූ රාජ්‍ය ආයතන වලින් සාධාරණත්වය හා යුක්තියේ පහස සෙවීමට උත්සාහවන්ත වීම අනාගත සමාජ ප්‍රගමනය කෙරෙහි වඩා සුභදායී ලෙස දායක වන්නේය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *