මහවැලි බඳ තුරුලේ -නැලවෙමු තුරු වදුලේ   ජල ගැලුම් නිම්න ජාතික  වනෝද්‍යානය

ඇහැලියගොඩ සංජීවනි පද්මසේන

කොළඹ, මඩකළපු ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව පසු කර මනම්පිටිය ආසන්න වෙත්ම ජීවිතය වසා පැතිර පවත්නා සියළු දුක් දෝමනස්සයින් උඩු සුළඟට මුසු කර සීතල තෙත් සිසිලසකින් හදවත නහවා ගන්නට ඔබත් කැමති ද? එසේ නම් ඔබ ඒ සුර විමනට ඇතුළු විය යුතුමය. ඇතුළු නොවූවද ඒ පිළිබඳ තතු සොයා බලන්නන්, විමසන්නන් තුළ වුවද ඇති වන්නේ හදවත සිසිලසින් තෙමන තෙත් සදාහරිත උයන් පෙතක මැවෙන මනහර දර්ශනයක්, ගුප්ත නිහඬ විමර්ශනශීලී මායාමය වන අරණක සුන්දරත්වයක්මය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත ජාතික උද්‍යාන අතරේ හත්වන ස්ථානයට ප්‍රකාශයට පත්ව ඇති ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ඒ සොඳුරු වනස්පති රජදහනයි. 

මහවැලි ගං කොමළියගේ බඳ දෙපස පිටාර ගලා යන ජලයෙන් පෝෂණය වී විල්ලු සහ දූපත් රැසක් මවන බොහෝ ජෛව විවිධත්වයෙන් අනූන මෙම සොඳුරු වන රජ දහන ජල ගැලුම් නිම්න උද්‍යානය ලෙස නම් ලබා ඇත්තේ මහවැලි ගඟේ පිටාර තැන්න නියෝජනය කරමින් පිහිටා ඇති බැවිනි. මෙම කලාපයේ එක් එක් කාල වලදී මවන පාරිසරික නිර්මාණවල සුවිශේෂත්වය නිසාම මෙහි වටිනාකම අතිමහත්‍ ය.

කඳුහෙල්, ගිරිශිඛර පසුකර ක්‍රියාශීලී යොවුන් රුවැත්තියක් මෙන් දඟලන මහවැලිය මෙම නිම්න භූමියේදී සිල් ගත් උවැසියක් සේ නිසොල්මන්ව ගලන්නේ ජල කඳ යට ඇති බියකරු බව නිශ්චල සමාධියෙන් වසඟ කරගනිමිනි. එක් ඉවුරක සිට අනිත් ඉවුර දක්වා මීටර් 200ක් පමණ දුරක් ගන්නා මහවැලිය ඇතැම් තැන්වලදී ඊටත් ඉහළ පළල් පරාසයක්ද ගනිමින් නිහඬව ගලා යයි.

එහෙත් ඊසාන දිග මෝසම සක්‍රීයවන නොවැම්බර් සිට පෙබරවාරි කාල වලදී වැසි දියෙන් පෝෂණය වන මහවැලිය ඉහළ ගංඟා ධාරයෙන් එකතු වෙන ජල කඳද රැගෙන පිටාර ගලන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. මහවැලිය පිටාර ගලමින් නැටූව ද දෙගොඩ තලා මිහිමත මහා සයුරක් මැවූව ද අහෝ මේ ජල නිම්නය නිවහන කරගත් අසරණ වන සතුන් මේ කාලයේ දී දුක්මුසු ඉරණමකට මුහුණ පායි. ක්ෂණිකව අඩි ගණනකින් ඉහළ යන මහා ජල ධාරිතාව හමුවේ නිවහන් අහිමි වන බොහෝ වන සතුන් උස්බිම් කරා සංක්‍රමණය වුවද සමහරුන්ට මරණය පවා උරුම වන්නේ දුක්ඛිත අයුරිනි. මේ අතර කුළු හරක්, මුවන් සර්පයින් වැනි බොහෝ සතුන් අවතැන් වේ. 

මෙම නිම්න භූමිය තවත් වැදගත් වන්නේ මෙය වන අලින් සංක්‍රමණය වන වන අලි කොරිඩෝවක් ලෙස ක්‍රියාත්මක වන බැවිනි. දකුණින් වස්ගමුව හා උතුරෙන් සෝමාවතිය අතර වන අලි සංක්‍රමණය වන්නේ මේ හරහාය. මෙම වන අලි අතරේ “විල් අලි” ලෙස හැඳින්වෙන අලි විශේෂත්වය ද සිටින බැවින් මෙම නිම්න භූමියේ සුවිශේෂත්වය අපට වටහා ගත හැක. මේ විල් අලි (swamp elephant ) ප්‍රචණ්ඩය. දැකුම්කලුය. අනිත් අලිනට වඩා විශාලත්වයෙන් වැඩිය.

එමෙන්ම දිවි විශේෂයන්, ගෝන්නු, වලසුන්, වල් මීමන්, මුවන්, වල් ඌරන්, මීමින්නන්, හාවුන් වැනි සතුන් ද කබල්ලෑවා, උනහපුලුවා වැනි දුර්ලභ සතුන් ද රිලවුන්, වදුරන්, ඉත්තෑවුන් වැනි සතුන් ද කිඹුලා, ඉබ්බා, කිරි ඉබ්බා, කටුසු විශේෂ සහ හූනන් වර්ග වැනි උරගයින් ද මෙම වන අරණ නිවහන කරගත් සුවිශේෂී හිමිකරුවන් ය.

මෙම පිටාර කලාපය ජලයෙන් පෝෂණය වන කළ හිස් උදුමවාගෙන සතුටෙන් ඉපිලෙන ජලාශ්‍රිත මිරිදිය මත්ස්‍ය වර්ග බහුලය. ඒ අතර හිරිකනයා, කටුපෙතියා, ගඩයා, කාවයියා, හුංඟා, ලූලා, ආඳා, අංකුට්ටා, පොකැස්සා, තෙලියා, තෙප්පිලි හා කාපයන් ආදී විවිධාකාර මත්ස්‍යයින් ජල දහර නිවහන කරගත් හිමිකරුවන් ය.

ඉහළ වැසි කඳත් සමඟ ඛාදනය වී පහළට රූරා එන වැලි කඳ මහවැලි ඉවුරු දෙපස සුන්දර වැලි කඳු නිර්මාණය කරයි. මෙය ඉතා විචිත්‍රවත් දර්ශනයක් වන අතර එහිදී මේ වන අරණ සිහින සිනමාපටයක කැලෑබද දර්ශනයක උණුසුම හදවතේ තවරයි. 

ඉන් ඉක්බිති මේ දෙගොඩ තලා ගිය ජල කඳ සෙමින් බැස යත්ම මේ වන පෙත අරා රොන් මඩ තැන්පත් වන්නට පටන් ගනියි. ඉන් පෝෂණය ලබමින් මහා වන ගැබ නව පණක් ලබමින් අතු, ඉති, දළු නංවා ඉහළ අහසට සිනා වෙන්නට පටන් ගනියි. ඉන් මේ ජල ගැලුම් නිම්නයේ ලොකු කුඩා සුන්දර විල්ලු පාරිසරික කලාප නිර්මාණය වන්නට පටන් ගනියි. 

හඳපාන්විල විශාලම විල්ලුව වන අතර කරපොලවිල, බණ්ඩියවිල, නෙළුම්විල, අලංචිපොතවිල, තේනපුරවිල, කොක්විල, ආදී ප්‍රකට හා අප්‍රකට විල්ලු බොහෝ ගණනන් මෙම නිම්නය ආශ්‍රිතව නිර්මාණය වෙයි. මෙම විල්ලු ආහාර අතින් කදිම තෝතැන්නක් වන අතර ජලාශ්‍රිත පක්ෂීන්ට කදිම ගොදුරු බිම් බවට පත් වෙයි. සංක්‍රමණික පක්ෂීන් ද ආහාර සහ විවේකය සඳහා මෙහි පදිංචියට ඒමට පටන් ගනියි.

මෙම ජල ගැලුම් නිම්න භූමිය නව දූපත් නිර්මාණය කරන තෝතැන්නක් බවට ද පත් වී ඇත. ඒවා ගංඟා දූපත් මෙන්ම විල්ලු දූපත් ලෙස ද නිර්මානය වෙයි. විශාලම දූපත වූ මුතුගල දූපත අක්කර 5ක් පමණ වූ පලතුරු ගස් සුලබ දූපතකි. මහවැලිය විසින් ඉතිරිකර යන වැලි සහ රොන්මඩ ක්‍රමාණුකුලව තැන්පත් වී ඉන් පෝෂණය ලැබ ක්‍රමානුකූලව පැළාටි සහ තුරු රෝපණය වෙමින් මෙම දූපත් නිර්මාණය වී තිබේ. මෙම දූපත් ජලාශ්‍රිත සතුන්ට මෙන්ම පක්ෂීන්ට ආහාර පිරවූ ආහාර ගබඩා බවට පත්වන බැවින් ඔවුන් නිදැල්ලේ සැරි සරන නිදහස් අභයභූමි බවට පත් වී ඇත. 

ඉඳින් සෙමෙන් වැසි ජලය බැස යාමට පටන් ගනියි. එවිට ප්‍රතාපවත් තුරු මුදුන් සහිත වනස්පතීන් කොළ පැහැති දීප්තිමත් පත්‍ර දරමින් අහංකාර වන්නට පටන් ගනියි. මේ අති සුන්දර සමය දියකඩිති හා විල්ලු වල රඟන මත්ස්‍යයින්ට නම් සුභ කාලයක් නොවේ. ඒ ජලමූලශ්‍රවල සිටින ජලාශ්‍රිත පක්ෂීන් ගොදුරු සොයා පැමිණ මේ අසරණයින්ගෙන් සිය කුස පුරවාගන්නා බැවිනි. මෙම පක්ෂීන් අතර තට්ටමාන කොකුන්, පාදිලිමානාවන්, පැස්තුඩුවන්, දෑකොකුන්, ලතුවැකියන්, අබිකාවුන්, දියකාවුන්, ආදී ජලාශ්‍රිත පක්ෂීන් ද අහස් වියනේ කරනම් ගසා මත්ස්‍ය ජීවිත ගිල දමන පිළිහුඩුවන්, සුයුරුකුස්සන්, බමුනුකුස්සන්, හා රාජාලීන් ආදී පක්ෂීන් ද ප්‍රකටය.

සොබාදහම වූ කලී විස්මිත නිර්මාණයකි. එක සතෙකුගේ ජීවිතය අහිමි වන්නේ‍ත් තවත් සතෙකුගේ ජීවිතය සුරැකෙන්නේත් සොබාදහම පරිසර සමතුලිතතාවය කෙරෙහි හෙලන අකලංක බැල්ම නිසාවෙනි. ඒ සොබාදහමට අතපොවන්නට අපට නොහැකිය. එසේ වුවහොත් සොබා දහම විසින්ම අපට දඩුවම් ලබා දීමට නොපැකිලෙන්නේ එය අප නොකළ යුතු දෙයක් නිසාවෙනි.

මේ අතරින් වන ලැහැබ දෙවනත්වන තරමට සංගීත නාද පවත්වන දෙමලිච්චන්, වළිකුකුළන්, මොනරුන්, කිරළුන්, ආදී බිම්සරණ පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත. මහා රහස් ගොන්නක් සඟවාගෙන ප්‍රතාපවත් ලෙසින් වන පෙත දරා හිඳිනා වටිනා වෘක්ෂයින්ගෙන් ද අඩුවක් නැත. 

එමෙන්ම පුරාවිද්‍යා වටිනාකමින් අනූන පෙදෙසක් ලෙස ද මෙම ජල ගැලුම් නිම්නය හඳුන්වා දිය හැක. මහවැලි ගඟ දෙපසට විහිදුණු පුලතිසිපුරවරයේ මානව ශිෂ්ටාචාර සලකුණු, නටඹුන්ව ගිය ගල්කණු, ගොඩනැගිලි කොටස්, පැරණි ගල්ගුහා, පොදු ආරාමවල නටඹුන් යැයි සැලකෙන නටඹුන් කොටස් යනාදිය ද මෙහිදී හමුවී තිබේ. එමෙන්ම කොරවක් ගල්, ශෛලමය මල් ආසන, බහිරව රූප මෙන්ම මුතුගල දූපත ආශ්‍රිත ටැම් ලිපියක් ද හමුවී තිබේ. 

මහවැලි නදී ඉවුරු තෙරට ආසන්නව ඉදි වී ඇති මනම්පිටිය ගඟේ දේවාලය නැමැති දේවාලය හින්දි බැතිමතුන්ගේ වන්දනාමානයන්ට ලක්වූ පූජනීය ස්ථානයකි.මෙම දේවාලය හාස්කම් බහුල ඉතා පූජනීය දෙවොලක් ලෙස ප්‍රකට වී තිබේ. 

මෙම ජල ගැලුම් නිම්නයේ තොරතුරු ලියා ඉවර කිරීමට නොහැකිය. එය එතරම්ම සොඳුරු පාරිසරික ගවේශන පාරාදීසයක්, රහස් සඟවාගත් නිහඬ නිර්මාණ තෝතැන්නක් බැවිනි. සංචාරක ආකර්ශණය නොමදව දිනා ගත් පාරිසරික වශයෙන් ඉතා වටිනා මෙම නිම්න භූමිය කිලිටි නොකිරීම හා රැක ගැනීම මානවයා වන අපේ වගකීමකි. යුතුකමකි. සොබා දහමේ රිද්මයට අනුගත වනවා විනා සොබාදහම වෙනස් කරන්නට අපට නොහැක. සොබාදහමේ රිද්මය වෙනස් කළහොත් අපටම එහි විපාක භුක්ති විඳින්නට වන බව දැනගෙන සිටීම අප කාටත් යහපතක්ම වන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *