කිරි ඉබ්බෙකු නිසා කිරිමුහුද වූ ඓතිහාසික නුවර වැව

 

මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ හදවත වන්නේ මහනුවර නගරය‍ යයි කිවහොත් එය අතිශෝක්තියක්  නොවේ. එවන් ඓතිහාසික මහනුවර නගරය මධ්‍යයේ  පිහිටි නගරයට සිසිලසත් සුවදායී වාතයත්  නිරතුරු ලබා  දෙන  ‌ ඓතිහාසික  මහනුවර වැව මෙරට ඉතිහාසයේ   සුවිශේෂී වැවක් වශයෙන් සටහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානියේ අවසන් රජු  වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 1807 දී ඉදි කරනු ලැබූ  බව සඳහන් වන  නුවර වැව සම්බන්ධයෙන් පවතින ඉතිහාස කතාව  හා එහි  ඓතිහාසික පසුබිමත් වත්මන් තත්වයත් සොයා බැලීමකි මේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ රජ මාළිගාව වූ වත්මන් ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පොකුණක කුඩා කිරි ඉබ්බෙකු සිටිනු දුටු රජු එම කිරි ඉබ්බා වෙනුවෙන් පොකුණේ කොටසක් වෙන් කර දී තිබේ. පසුව ටික කලකින් එම  ස්ථානයේ දර්ශනීය වැවක් ඉදි කරීමට  සිතූ රජ තුමා  විසින් මෙම ස්ථානයේ වැවක් සැලසුම් කිරීමේ වගකිම රජවාසල සැලසුම් ශිල්පියා වූ දේවේන්ද්‍ර මූලාචාරියා ට පවරා දී තිබේ. ශ්‍රී දළදා  මාළිගාවේ පත්තිරිප්පුව , මඟුල් මඩුව යන නිර්මාණවල සැලසුමද දේවේන්ද්‍ර මූලාචාරියා සතුය. ඔහු විසින් සැලසුම් කරන ලද මෙම වැවේ සැලැස්ම අනුව රාජධානියේ  නන් දෙසින් ගෙන්වා ගත් රට වැසියන්ගේ සහායෙන් මෙම  වැව ඉදිකිරිම සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.මෙම කිරි ඉබ්බා මුලින්ම  හමුව ඇත්තේ මහනුවර පළමු වන රජු වූ සේනාසම්මත වික්‍රමබාහු රජ තුමාට බවටත් එතුමා විසින් මෙම ඉබ්බාට පොකුණේ කුඩා ඉඩක් වෙන් කර තිබූ බවත්  ඉතිහාසඥයින් මත පළ කර තිබේ. කිරි ඉබ්බා විසූ තැන හැදූ වැව නිසා එයට කිරි මුහුද යන නම භාවිතා කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.

ඉංග්‍රීසි ජාතික ඩොයිලිගේ දිනපොතේ 1810   ඔක්තෝබර් 23 වන දිනයේ සඳහන් කර ඇත්තේ මෙම වැවේ ඉදිකිරිම්  ඒ වන විට අවසන් කර තිබූ බවයි. කෙසේ නමුත්  ඇතැම් මතයන්ට අනුව ඩොයිලි සඳහන් කර ඇත්තේ වැවේ ඉදි කිරිම ගැන වුවත් එහි වලාකුළු බැම්ම ඇතුළු අනෙකුත් ඉදි කිරිම් ඒ වන විටත් සිදු කරමින්  පැවැති බවය.  ඉංග්‍රීසි ආක්‍රමණ නිසා රජුට පලා යාමටත් පසුව අත් අඩංගුවට පත් වීමටත්  සිදු බැවින් වලාකුළු බැම්මේ ඉදිකිරිම් අතර මඟ නැවතී ඇති අතර  එය අදත්  අඩක් නිමවූ වළාකුළු බැම්මක් ලෙස දක්නට ලැබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු  නිර්මාණය කළ වළාකුළු බැම්ම 1875  දි වේල්සයේ ඇල්බට් එඩ්වඩ් කුමරු ( පසුව එඩ්වඩ් රජු වු) මහනුවරට පැමිණිම වෙනුවෙන් වැව් බැම්ම උස් කර ඉංග්‍රීසින් විසින්  වැවද විශාල කර ඇති බවත් සඳහන් වෙයි. කෙසේ නමුත් ඉංග්‍රීසි පාලන සමයේ අතහැර තිබූ වළාකුළු බැම්ම ගරා වැටෙමින් තිබියදී ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් 1872 ත් 1877 ත් අතර කාලයේදී ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ. 

ඉංග්‍රීසි ලේඛකයෙකු වන ශ්‍රීමත් හෙන්රි  චාල්ස්  නම් ලේඛකයා විසින් ලියන ලද  CEYLON AND THE CINHALESE  නම්  ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මහනුවර නගරය තුළ තැනූ වැව නගරයට විශාල ආකර්ෂණයක් වූ බවයි.

නුවර වැව වටා වළාකුළු බැම්මක් ඉදි කිරිමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තුමා කටයුතු කළත් 1815 වන විට ඉංග්‍රිසින් උඩරට යටත් කර ගැනීමත් සමඟ එම කටයුතු නැවතී ගොස් ඇති අතර ඉංග්‍රීසින්ද එය අත හැර දැමිම නිසා අද වන විටත් අවසන් නොකළ වළාකුළු බැම්ම දක්නට ලැබෙයි.  මේ සම්බන්ධයෙන් විකිපීඩියා හි සඳහන් වන්නේ  උඩරට ඉංග්‍රිසින්ට යටත් වීම හේතුවෙන් වළාකුළු බැම්මේ ඉදිකිරිම් අතර මඟ නැවැතී ගිය බවත් එය අඩි 2060 ක් පමණක් නිම වී ඇති බවත්ය.

මෙම වළාකුළු බැම්ම දිගේ ත්‍රීකෝණාකාර කවුළු පිහිටුවා ඇති අතර එම කවුළු රජ වාසල හෝ නගරයේ පවත්වනු ලබන විශේෂ උත්සව අවස්ථාවන්හිදී   පහන් දැල්වීම සඳහා යොදා ගෙන තිබේ. එසේ වුවත් වර්තමානයේ එවන් අවස්ථාවන් දක්නට ලැබීම ඉතා දුර්ලභය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙම ඓතිහාසික මහනුවර වැවේ ධාරිතාවය නැත්නම් ගබඩා කළ හැකි ජල ප්‍රමාණ‍ය ඝණ මීටර් 8,60,000 ක් තරම් විශාලය. වැවේ උපරිම ගැඹුර මීටර්  12.5 ක් වන අතර වැවේ වට ප්‍රමාණය කිලෝ මීටර්  3 . 05 ක් සහ  වළාකුළු බැම්මේ දිග මිටර් 800 ක් වෙයි.

නුවර වැවට යාව පවතින  සුවිශේෂ ගොඩනැගිල්ලක් වනුයේ උල්පැන් ගෙයයි. වර්තමානය වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය කර ඇති මෙම උල්පැන් ගේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මත කිහිපයක්ම පළ කරයි‍. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු  මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ

“ මෙම පුරා විද්‍යා ස්මාරකය පැන් උනන හෙවත් උල්පත් ජලයෙන් යුක්ත වීම හෝ උණු පැන් සැකසීම නිසා මෙම නාම සම්භවය හිමිව ඇත.රාජකීය බිසෝවරුන් දිය නෑ තැන උල්පැන්ගේ ලෙස හැඳින්වෙයි.”යනුවෙනි.

මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට නුවර වැවේ කොටසක  පර්චස් 16. 8 ක භූමි ප්‍රමාණයක් පුරා පිහිටි මෙම උල්පැන් ගේ කොටසක් දිය යටද තවත් කොටසක් මතු පිටද දක්නට ලැබීම විශේෂත්වයකි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් 1806 දි මෙම උල්පැන් ගේ නිර්මාණය කර ඇති බවද ඉතිහාසයේ සඳහන් වෙයි. මීටර් 19 ක් දිගටත් මිටර් 9.4 ක් පළලටත් මීටර් 3.15 ක් ගැඹුරටත් නිර්මාණය කර ඇති මේ ජල තටාකය මුලින් තනි මහලක් වශයෙන් තිබී ඇති අතර ඉංග්‍රීසි පාලන සමයේ දෙමහල් ගොඩනැගිල්ලක්  වශයෙන්  නිර්මාණය කර ඔවුන් සිය පුස්තකාලය සහ පසුව ආයුධ ගබඩාව ලෙසද භාවිතා කර තිබේ. 1803 දී මහනුවර ට පැමිණි ඉංග්‍රීසි ජාතිකයින් විසින්ම මෙම උල්පැන්ගේ ගිනි තබා විනාශ කර තිබීමත් පසුව ඔවුන්ම  මෙම ප්‍රතිසංස්කරණය කිරීමත් සුවිශේෂ සිදුවීමක් වෙයි.

මෙම උල්පැන් ගේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර 1971.08.02 වන දින අංක 14970 /8 දරණ ගැසට් පත්‍රය මගින් පුරා විද්‍යා ස්මාරකයක් වශයෙන් ලියාපදිංචි  කර තිබේ.

මහනුවර වැවට බොහෝ දෙනෙකු අද වන  විටත් බෝගම්බර වැව ලෙස හැදින්වීම‌ට  පුරුදුව සිටිති. එසේ වුවත්  මෙය බෝගම්බර වැව නොවේ. නුවර වැව ඉදිකිරීමට පෙර මහනුවර නගරයේ තිබූ ප්‍රධාන වැව බෝගම්බර වැවයි.  ඉතිහාසඥයින්  කියන ආකාරයට  එදා බෝගම්බර වැව පිහිටා ඇත්තේ වර්තමානයේ බෝගම්බර ක්‍රීඩාංගණය පිහිටි  ස්ථානයේයි. බෝගම්බර ක්‍රීඩාංගණය, පැරැණි බන්ධනාගාරය, මධ්‍යම වෙළද පොළ  යන ස්ථාන එක්ව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් මෙම බෝගම්බර වැවට සම්බන්ධව තිබේ. ඇහැළේපොළ කුමාරිහාමිව දියේ ගිල්වා  මරා ඇත්තේද මෙම බෝගම්බර වැවේ වන අතර පසුව ඇයගේ දේහය හමුව ඇත්තේ පැරැණි බන්ධනාගාර පරිශ්‍රයේයි. එම ස්ථානයේ ස්මාරකයක්ද තිබෙණු  අදටත් දක්නට ලැබෙයි.

 රජ මාළිගයට ඉතාම සමීපව මුළු නගරයටම සිසිල ගෙන දෙන වැවක් නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රජසිංහ රජු වැව මැද තිබූ විශාල ප්‍රමාණයේ පස් කන්දක් ඉවත් නොකර ඉතිරි කර එය දර්ශණිය දූපතක් බවට පත් කළේය. එම දූපත දර්ශණිය පාරිසරික කලාපයක් කළ රජු එතුල විවේක ගත හැකි මණ්ඩපයක්ද කරවීය. ජයතිලක මණ්ඩපය ලෙස සැලකෙන එම මණ්ඩපය රජුට විවේක ගැනීම සඳහා පසුව යොදා ගනු ලැබීය. මෙම මණ්ඩපයට වැව හරහා ගමන් කිරිම සඳහා හකුලන පාලමක් සකස් කර තිබූ අතර එම පාලම අවශ්‍ය අවස්ථාවන්වලදී දිග හැරීමටත් සෙසු වේලාවන්වලදී හකුලා තැබීමටත් හැකි වන අයුරින් නිර්මාණය කර තිබූ  නිසා එය හකුලන පාලම හෙවත් හෙල්පාලම ලෙස හැඳින්වෙයි. මහනුවර රාජධානිය ඉංග්‍රිසින් විසින් ආක්‍රමණය කිරීම නිසා  විනාශයට පත්වූ මෙම ජයතිලක මණ්ඩපයද කැනීම් කර එහි  නටබුන්ද  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලැබ තිබේ.

අද වන විට දිනපතා දහස් ගණනක පිරිසක් වැව වටේ ඇවිදීමට , දෙස්  විදෙස් සංචාරකයින් ලෙසද පැමිණෙති‍. ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා බෝට්ටු සේවයක්ද දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබයි.

මහනුවර වැවේ ඉතිහාස කතාව එලෙස සටහන් වෙද්දී වැවේ වත්මන් තත්වය පිළිබඳවද යමක් සටහන් කළ යුතුය. මහනුවර නගරයට සිසිලසත් පිරිසිදු වාතයත් ලබා දීමට මා හැකි දායකත්වයක් සපයන ‌ ඓතිහාසික මහනුවර වැව  ආරක්ෂා කිරීම සඳහා මහනුවර මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය  , වාරිමාර්ග  දෙපාර්තමේන්තුව මෙන්ම   පුරාවිද්‍යා දෙපාර්මේන්තුව  ඇතුළු රාජ්‍ය ආයතන  ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අතර වැවේ මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. වැවට බැසීමද තහනම් කර තිබේ. වැව ඉස්මත්තේ කිසිදු ඉදිකිරිමක් කිරීමද  තහනම් කර තිබේ. වැවට අපද්‍රව්‍ය මෙන්ම අප ජලයද බැහැර කිරීම තහනම් කර තිබේ. මෙම නියෝගවලින් රැසක් ක්‍රියාත්මක වුවත් තවමත් ඇතැම් ස්ථානවලින් අප ජලය බැහැර වන අයුරුද  දක්නට ලැබෙයි .

 වත්මනේදී ජනතාවට විවේක ගැනීම සඳහාත් ව්‍යායාම සඳහා ඇවිදින මංතීරුවක් ලෙසත්  වැව වටා මාර්ග පද්ධතියක් ඉදි කර ඇති අතර එහි අලංකාරය සඳහා විවිධ ගස්වර්ගද සිටුවා නඩත්තු කරනු ලැබ‍ේ එසේ වුවත් වැව රවුම වටා මෙලෙස  ඉදි කර ඇති ඇතැම් විශාල ගස් රූරා වැටී වැව තුලම දිරා පත් වෙමින් තිබෙන අයුරුද දක්නට ලැබෙයි. මසුන්  හංසයින් ඇතුළු දහස් ගණනක් සතුන්ටද  ක්ෂේම භූමියක්ව ඇති මේ  ‍ ඓතිහාසික නුවර වැව ආරක්ෂා කර ගන්නට සුළු වශයෙන් හෝ දායක වීම සැමගේ වගකීමක් වෙයි.

අංක 02 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *