ප්‍රවේශම් වන්න -දැඩි හිරු රැස් භයානකයි

සංජීවනී පද්මසේන

මේ දිනවල කර්කශ වියළි සුළඟෙන් හා දැඩි රශ්මියෙන් දැවෙන විඩාබර ගතත්, සිතත් දැඩි වෙහෙසකර තත්ත්වයට පත්ව ඇත. හිරු සිනාසෙන වාරයක් පාසා මහපොළොව අසරණව දැවි දැවී යයි. වෙනදා සිනා රැළි කැරළි වස්සන අහස මේ දිනවල දීප්තිමත් රැස් සහිත උජාරු හිරු දරා සිටින්නේ වෙහෙසෙනි. එය අද නිල් පැහැති උරයක් දැමූ කොට්ටයක් පැළී පුළුං කැටිති විසිරුණාක් මෙන් දිස්වෙයි. මළානික ගස් කොළං පවා සිය දීප්තිමත් වර්ණ සඟවාගෙන කහ අඳුරු පැහැයට හැරී සුසුම්ලයි. උණුසුම් හිරු කිරණ පොළොව මත වැදී යළි පොළොවේ උණුසුමද කැටි කරගෙන ඉහළට ඇදී යයි.

මේ වියළි උෂ්ණාධික කාළගුණය ඉදිරි දිනවලදී ද බලාපොරොත්තු වියහැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසජ්යි. මේ නිසා අතුරු ආබාධ රැසකට මුහුණපෑමට හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියි. එයින් ප්‍රධානතම වන්නේ විජලනය තත්ත්වයට පත් වීමට ඇති වැඩි ඉඩකඩයි. 

එළිමහනේ වැඩ කරන පුද්ගලයින්, කුඹුරු වැඩ කරන්නන් මෙන්ම මේ දිනවල පාසල් වල ක්‍රීඩා උත්සවයන් පවත්වන බැවින් විශේෂයෙන්ම පාසල් ළමුන් ද මේ තත්ත්වයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ නිසා දරුවන් ක්‍රීඩා සඳහා බොහෝ වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය නොකරන්නැයි පාසල් බලධාරීන්ගෙන් හා දෙමව්පියන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

වැඩි වශයෙන් ජලය හා පිරිසිදු ස්වභාවික දියර වර්ග පානය කිරීම, අධික හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකීම, විශේෂයෙන් වැඩිහිටියන් සහ රෝගාබාධවලින් පෙළෙන්නන් මේ දිනවල වෙහෙසකර කාර්යයන්ගෙන් ඈත් වීම ආදියෙන් මේ විජලන තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කළ හැකියි.

නිවර්තන කලාපයට අයත් ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටීම නිසා මේ කාලය අපට ඉහළින් හිරු මුදුන්වන කාලයයි. ඉතින් මෙලෙස හිරු රශ්මිය දැඩි වීමට මෙය ද හේතුවක් වී තිබෙයි. විජලයනය, සම කැසීම, පලු දැමීම, බිබිලි ඇති වීම, වැනි සමේ ආසාදන මෙන්ම මේ දිනවලදී මුහුණ පානට හැකි තවත් බරපතල අනතුඅනතුරුදායක තත්ත්වයක් ද තිබේ. එය තාප ආඝාතය එසේ නැත්නම් ඉංග්‍රීසියෙන් Heat Stroke ලෙස හඳුන්වයි. 

තාප ආඝාතය යනු ශරීරය අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ඇති විය හැකි අතිශය දරුණු අවදානම් අවස්තාවකි. මෙය මාරාන්තික තත්ත්වයක් දක්වා වුවද වර්ධනය විය හැකිය. 

මෙහිදී අපේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය රැක ගැනීමට ශරීරය ඇතුළතින්ම සිදුවන ක්‍රියාවලිය බිඳ වැටීමෙන් ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් සිදු වේ. මෙය සියලු දෙනාටම පොදුවේ සිදු විය හැකි වුවත් වැඩිපුරම බලපෑ හැකි අවධානම් පිරිසක් ද සිටියි.

එනම් අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, අතදරුවන් සහ කුඩා ළමයි, නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන් මෙන්ම මානසික ආබාධවලින් පෙළෙන්නන් ද මෙම අනතුරුදායක කණ්ඩායමට ඇතුළත් වේ. එලෙසින්ම ක්‍රීඩකයන් සහ එළිමහනේ වැඩ කරන පුද්ගලයින් ද එයට ඇතුළත් වේ.

මේ දිනවල අධික රශ්මිය නිසා මෙම භයානක තාප ආඝාත තත්ත්වයට පත් වීමට කළින් මෙවැනි අවදානම් ලක්ෂණ මුළින්ම පෙන්නුම් කිරීමට හැක.

  • ක්ලාන්තය

මෙහිදී ශරීරය විසින්ම අධික උෂ්ණත්වය පාලනය කරමින් සිසිල් වීමට දරන උත්සාහයේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලාන්තය, කරකැවීම වැනි ලක්ෂණ ඇතිවිය හැක.

  • මාංශපේශි වේදනාව

මෙය ද අධික උණුසුම නිසා ඇති වන මූලික ලක්ෂණයකි.

  • අධික වෙහෙස

අධික ලෙස දහඩිය දැමීම, ශරීරය දුර්වල බව, හිසරදය, හෘදස්පන්දන වේගය වෙනස් වීම වැනි ලක්ෂණ මතුවුවහොත් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම කල යුතුය. නැතහොත් මොළයට හානි වීම, ඉන්ද්‍රියන් අඩපණ වීම පමණක් නොව අවසානයේ දී ජීවිතය අහිමි වීමට වුවද ඉඩ තිබේ. ඉන් මෙම තත්ත්වය කොපමණ භයානක දැයි වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත.

තාප ආඝාතයේදී ඇතිවන ලක්ෂණ

  • උෂ්ණත්වය පරීක්ෂා කළහොත් ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103ට වඩා ඉහළ අගයක් ගනී.
  • හෘදස්පන්දන වේගය ඉහළ යයි. වේගවත් ය.
  • කෙටි වේගවත් ආශ්වාසය
  • සම රතු පැහැති වීම හා වියළී යාම
  • අධික හිසරදය
  • අධික මහන්සිය
  • ඔක්කාරය හා වමනය
  • මස්පිඬු වේදනා
  • මුත්‍රා තද පැහැයෙන් පිටවීම
  • සිහිවිකල් ගතිය හා අවසානයේ දී සිහිමූර්ඡාව 

මේ භයානක තත්ත්වයෙන් අත් මිදීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග

  • වැඩිපුර ජලය පානය කළ යුතුමයි.

මෙය ඉතාමත් වැදගත් දෙයක් වන අතර තිබහ නොදැනෙන ප්‍රමාණයට වතුර බීම අත්‍යාවශ්‍ය වේ. වතුර වලට අමතරව පොල් වතුර, තැඹිලි වැනි ස්වභාවික පාන වර්ග බීමට ගැනීම, වතුර ගතිය වැඩි පැණි කොමඩු, මිදි, දොඩම් වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීම කළ හැකිය. තිබහ වැඩියෙන් දැනෙනවා යනු විජලනයේ මූලික ලක්ෂණයක් බව අමතක නොකළ යුතුය.

  • සැහැල්ලු ළා පැහැති ඇඳුම් ඇඳීම වැදගත් වේ. 

ළා පැහැයන් මඟින් පරිසරයේ තාපය උරා ගැනීමට හැකියාවක් ඇති නිසා සැහැල්ලු ළා පැහැති ඇඳුම් මේ කාලයට වඩාත් සුදුසු වේ.

  • ගමන් බිමන් සීමා කළ හැකි නම් වඩාත් හොඳ නමුත් එසේ කළ නොහැකි අවස්ථා වලදී අව්වට නිරාවරණය වීමට කළින් හොඳ වර්ගයක හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපනයක් ( sun cream ) ආලේප කිරීමට හැකි නම් වඩාත් සුදුසුය.
  • පැණි බීම, ඇල්කොහොල් පානයෙන් වැළකීම වැදගත් ය.
  • සමහරක් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ වර්ග වලින් මුත්‍රා පිට කිරීමේ වාර ගණන වැඩි වන නිසා විජලන තත්ත්වය ඉක්මන් වීමට ඉඩ තිබේ. එම නිසා මේ කාලයේ දී එම ඖෂධ භාවිතය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම විශේෂ අවධානය යොමු කළ යුතු කරුණකි.

ඉතින් හිරු ගිනිගන්නා මේ දැඩි අපහසුකාරී දින ටික මෙලෙස පරිස්සමින් ගත කළහොත් මේ භයානක තත්ත්වයෙන් වැළකී සිටීමට මෙන්ම අතුරුඵල වන විජලනය හා වෙනත් අතුරු ආබාධ වලින් ද වැළකී සිටීමට හැකි වේ.

හිරු කොතරම් කුරිරු ලෙස සිනා වුවත් අප පරිස්සම් වීම මඟින් අපගේ ජීවිත රැක ගැනීම මෙන්ම මේ පිළිබඳ අන් අය දැනුවත් කිරීම මඟින් ඔවුන්ගේ ජීවිත සුරැකීම ද අප සතු යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *