අඩසිය වසරකට එපිට දී නැවතුන සබරගමුවේ පුංචි කෝච්චිය යළි ගමන් නරඹන ලකුණු

අජිත්ලාල් ශාන්තඋදය

මිට අඩසිය වසරකට පෙරදී අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා කෙරුණු පුංචි කෝච්චිය හෙවත්  ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය”  යළි ආරම්භ කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව 13දා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට දැනුම්දිමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුම්රිය සිහිනය යථාර්තයක් වන ලකුණු පහළවී තිබේ.

කැළණිවැලි දුම්රිය මාර්ගය කෘෂිකාර්මික භෝග ප්‍රවාහනය සඳහා පටු මාපක මාර්ගයක් ලෙස අවිස්සාවේල්ලෙන් අතු බෙදී රත්නපුරය දක්වා ව්‍යාප්ත විය. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මැකලම් (1907-1913) පාලන සමයේදී ය. ලොකු කෝච්චි ධාවනයවන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage) ලෙස වන අතර පීලි දෙක අතර පරතරය අඟල් 60 කි. නමුත් පුංචි කෝච්චියේ පටු දුම්රිය මාර්ගය (Narrow Guage ) පීලි දෙක අතර පරතරය අඟල් 30කි. දුම්රිය මාර්ගය පටු නිසා එන්ජිම මෙන්ම පෙට්ටිද පුංචි වූ නිසා පොදු ජනතාව මෙයට ”පුංචි කෝච්චිය” යන නම පට බඳින්නට ඇත. අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දුම්රිය නැවතුම් පොළවල් පහක් විය. ඒ ගැටහැත්ත, ඇහැළියගොඩ, පරකඩුව, කුරුවිට සහ රත්නපුරයි. 1912 දී දුම්රිය මාර්ගය රත්නපුර නගරයේ සිට ඕපනායක දක්වා සම්බන්ධ කරන ලදී, රත්නපුරේ සිට ඕපනායක දක්වා වු දුම්රිය මාර්ගයේ දුර කිලෝමිටර් විස්සක් වු අතර නැවතුම් පොළවල් පහක් විය. ඒ තිරිවනාකැටිය, මාරපන,වටාපොත, කහවත්ත සහ ඕපනායකයි. කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් (87) ක් විය.

කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදාය. එහි මුල් අදියර ලෙස 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා ගමන් ඇරඹූ ”පුංචි කෝච්චිය” ගමන් මගේ 1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩකටයුතු නිම කොට ඇත. රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1912 අප්‍රේල් මස 18 වැනිදාය. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුව ඇත. 1919 මැයි මස දෙවැනි දින ඕපනායක දක්වා දුම්රියේ ගමනාන්තය දික්විය. මෙම දුම්රිය මග රුහුණ දක්වා දික් කිරීමට ”කැලණිවැලි රේල්වේ කොමිටි” නම්වු ආණ්ඩුකාර තැන පත් කළ කොමිටියට වැවිලිකරුවන්, දිසාපතිවරුන් යෝජනා ඉදිරිපත් කළද එය පළ දැරුවේ නැත.

මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය” ලෙසය. එංගලන්තයේ රාජ්ය ලේකම්වරයා විසින් 1898 අප්‍රේල් මස 27 වැනි දින ලංකාවේ ආණ්ඩුකාරවරයාට විදුලි පුවතකින් දන්වා එවා ඇත්තේ මෙම දුම්රිය මග ඉදිකිරීමට තම අනුමැතිය ලබාදෙන බවය. 1899 ජූලි 25 වැනි දින එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයා වෙත ලංකාවේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු පී.ආර්. මැකින්ටොෂ් විසින් යවන ලද වාර්තාවක කැලණිවැලි දුම්රිය මඟ ඉදිකළ යුතු ආකාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලිව දක්වා ඇත.

එවකට දිවයිනේ ප්‍රධාන භෝග වූ කෝපි, තේ, රබර්, කුරුඳු සහ පොල්, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිත වතුකරයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් පිහිටුවන ලදී. අවිස්සාවේලේ සිට යටියන්තොට දක්වාද කැළණිවැලි දුම්රිය මාර්ගයක් පිහිටුවා තිබුණි.

1947 වර්ෂයේ දී ආදායම් හිඟකම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දෙවන ලෝක යුද්ධයේදී ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය”   රත්නපුර දක්වා කෙටි කරන ලදී.  අවසානයේ රත්නපුර සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය 1976 දී වසා දමන ලදී. රත්නපුර දක්වා වු කැළණිවැලි දුම්රිය වසා දැමුණේ එවක සමගි පෙරමුණු ආණ්ඩුවේ ඇමතිකම් දරූ ලොරි හිමි ව්‍යාපාරික දේශපාලනඥයන්ගේ උවමනාව අනුව යැයි සමාජයේ මතයක් ගොඩනැගී තිබේ.

අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා රේල් පාර අතහැර දැමූ විට මැණික් හෑරීමටත් නිවාස හා වාණිජ ආයතන පවා ඇති කිරීමටත් රේල් පාර දිගේ දේපළ විශාල වශයෙන් කොල්ලකෑමක් සිදු විය. මේ වන විට නීති විරෝධී ලෙස නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර ඇත. පටු මාපක කැළණිවැලි දුම්රිය මාර්ගයේ සියලුම යකඩ කූරු මිනිසුන් විසින් උදුරා දමා ඒවා වෙළෙන්දන්ට විකුණා දමා ඇත. එහෙත් අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා වු දුරෙහි පිහිටි දුම්රිය ස්ථාන දහයේම කිසියම් එක් ගොඩනැගිල්ලක් හෝ ඉතිරිව පවතී. ඒ ස්ථාන අදවන විට රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ යම් ආයතනයක් හෝ ස්ථාපිත කර ඇත. මාර්ගයේ පාලම් කිහිපයක් ද අදටත් දක්නට ඇත.

සිරිපා වන්දනා කාලයට කුරුවිට ට දුම්රියෙන් පැමිණ එරත්න පාරෙන් සිරිපා වන්දනා කරන්නත්, ආපසු ඒ පාරෙන්ම පැමිණෙන්නටත් බැතිමතුන් පුරුදුව සිටි බව පැරැණ්නෝ කියති. ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය”  අභාවයට යාමට ප්‍රධානතම හේතුව වූයේ පටු ආමාන සහිත එම මාර්ගයේ ඇති තියුණු සාමාන්‍ය වක්‍ර හේතුවෙන් කඩිනම් මෙහෙයුම් ක්‍රියාත්මක නොවීම යැයි ද අදහසක් පවති. ඒ දුර්වලතාව මගහැරිම වෙනුවට දුම්රිය මාර්ගය වසා දැමීමට අනුවන දේශපාලකයන් පියවරගත් බවට මහජනයා චෝදනා කරති.

1993දී කොළඹ සිට පුළුල් මාපක මාර්ගයක් ලෙස අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි මාර්ගය සංවර්ධනය කරනු ලැබීය. ඒ සමගම පටුආමාන සහිත දුම්රිය කටුගෙට ගියේය දැනට පස්වසරකට පෙර සිට කැළණිවැලි දුම්රිය යළි ස්ථාපිත කරන ලෙස කතිකාවතක් ගොඩ නැගිණි. ඒ සම්බන්ධයෙන් සංවිධානයක් ද බිහිවිය. ‘කැළණිවැලිය යළි රුවන්පුරටය’ නම් වු සංවිධානය දුම්රිය දෙපාර්තමේන්තුවේත් දේශපාලකයන්ගේත් අවධානයට මේ උවමනාව යොමුකිරීමට දිගින් දිගටම කටයුතු කළේය. නමුත් සමහර දේශපාලනඥයින්ගේ ප්‍රබල ආධාරකරුවන්, හිතවතුන් දුම්රිය මාර්ගයේ ස්ථිර ඉදිකිරිම් කර තිබුණ නිසා ඝෘජු තීරණ දීමට රජය අදිමදි කළේය.

‘කැළණිවැලිය යළි රුවන්පුරටය’ සංවිධානය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අවධානය යොමුකරවාගෙන අවිස්සාවේල්ලේ සිට ඉදිරියට දුම්රිය රක්ෂිත මැනුම්කර මුලික සැලසුමට අවශ්‍ය දත්ත එකතු කරනු ලැබීය. කුරුවිට නගරය දක්වා දුම්රිය රක්ෂිතය මැන මායිම් ගල් ද දමනු ලැබීය. එහෙත් කෝච්චිය ආයෙත් එයිද යන්න රත්නපුරේ ජනතාවට තිබු නොවිසඳුන ප්‍රශ්නයක් විය. ‘කැළණිවැලිය යළි රුවන්පුරයට’ සංවිධානය මීට දෙවසරකට ඉහතදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාව සිටි නවීන් දිසානායක මහතා හමුවී රත්නපුරේට දුම්රියක අවශ්‍යතාව ගැන ඉල්ලිමක් කළේය. නවින් දිසානායක මහතා එම ඉල්ලිම දුම්රිය දෙපාර්තමේන්තුවට යොමු කළේය. තොරතුරු දැනගැනීමේ පනත මගින් එකී තොරතුරු තහවුරු කර ගතිමි.

දුම්රිය රක්ෂිත යළි මැනුම් කටයුතු කිරිමත් සමග දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවෝද කලබලයට පත්වූහ. ඔවුන්ද සංවිධාන ගතවන්නට විය. දුම්රිය මාර්ගය යළි පැමිණිමට පිරිසක් එරෙහි වෙද්දි තවත් පිරිසක් පැවසුවේ තමන්ට බිම් අගලක්වත් නැති නිසා දුම්රිය රක්ෂිතයේ පදිංචිවු බවයි. වෙනත් තැනකින් ඉඩම් කැබැල්ලක් දී ගෙයක් හදාගත්නට අවස්ථාව සලසා දී තමන්ව ඉවත් කරන්නැයි ඔවුන් ආයාචනා කරන්නට විය. බොහෝ අනවසර පදිංචිකරුවන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිසි බලපත්‍රයක් නැතිව පදිංචිවුවෝ වූහ. බලපත්‍රයක් ලැබුවන්ට  ද දැනුම් දුන් වහාම ඉවත්වන කොන්දේසි සහිතව අවසර ලැබුවන් විය. නමුත් බොහෝ දෙනෙක් තට්ටු දෙක තුනේ ස්ථිර ගොඩනැගිලි හැදුවේ යළි කවදාවත් තමන් බලයේ සිටියොත් කැළණිවැලි දුම්රිය තිබෙන මාර්ගයේ යළි නොඑන බවට දුන් පොරොන්දු නිසාය.

වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර ඔවුන්ටද මෙම ඉල්ලිම ඉදිරිපත් කෙරුණි. නොසිතූ බලයක් ඔවුනට පැමිණි නිසා කැළණිවැලි දුම්රිය ඉල්ලන සියලු ජනතාව සතුටට පත්විය. දැනට මාසයකට පමණ පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජාතික ජන බලවේගයට සම්බන්ධව කටයුතු කළ ක්‍රියාධරයෝද එක්ව කැළණිවැලි දුම්රිය යළි අවිස්සාවේල්ලෙන් ඉදිරියට ගෙන යනවාද යන්න සාකච්ඡා කළෝය

‘කැළණිවැලිය යළි රුවන්පුරටය’ සංවිධානයේ ඉල්ලීම ම ආණ්ඩුවේ මහජනතාවගේ ඉල්ලීම විය. එය තවදුරටත් වර්ධනය කරමින් රත්නපුර, කහවත්ත, ඇඹිලිපිටිය, සූරියවැව හරහා හම්බන්තොට දක්වා අදියර තුනක් යටතේ සංවර්ධනය කිරිමට තීරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ගෙන තිබිම සතුටට කරුණක් විය. සැබැවින්ම මෙය මීට වසර 106කට පෙර ඉදිරිපත්වුණ යෝජනාවකි. ඒ බව ලිපියේ මුලින් සදහන් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට  දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පීජේ. ප්‍රේමතිලක මහතා 13දා පැමිණ මේ බව දැනුම් දුන්නේය. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, රාජ්‍ය, පළාත් රාජ්‍ය, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරී ඇතුළුප් ආයතනවල ප්‍රධානීහු සහභාගි වෙති.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතීත්වය දරන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා ලේකම් ලෙස කටයුතු කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්ය ප්රධාන ඉංජිනේරු (මාර්ග) පීජේ. ප්‍රේමතිලක මහතා රත්නපුරේ ජනතාවගේ කෝච්චි සිහිනය සැබැවක් වන බව පැහැදිළි කළේ මෙසේය.

”පළමු අදියර යටතේ කුරුවිට දක්වා වු කොටසේ දුම්රිය රක්ෂිත මැණුම් කටයුතු මේවනවිට අවසන්. දැන් රත්නපුර දක්වා මැණුම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. කහවත්ත දක්වා දුම්රිය එන්නේ පැරණි දුම්රිය මාර්ගය ඔස්සේ යි.  පැරණි දුම්රිය ස්ථාන නවිකරණය කරන්න වේවි. පළමු අදියර සදහා ඩොලර් මිලියන තිහක් වැයවන බවට විශ්වාස කරනවා.ඒ සදහා මුදල් ලබාගැනිමට ආසියානු සංවර්ධන බැංකුවේ සහ ඉන්දියානු රජය සමගත් සාකච්ඡා පවත්වමින් සිටිනවා”

”කොළඹ සිට හෝමාගම දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස ඉදිකිරිමට නියමිතය. දුම්රිය මාර්ගය ඉදිවු පසුව අවිස්සාවේල්ලේ සිට පැය එක හමාරකින් කොළඹට දුම්රිය ධාවනය කිරිම සැලසුමක්. රත්නපුර සිට කොළඹ දක්වා පැය දෙකහමාරකින් දුම්රිය ධාවනය කිරිමටයි සැලසුම තියෙන්නේ.”

”තුන්වන අදියර කහවත්ත සිට හම්බන්තොට දක්වා වු කොටස නව මාර්ගයක්. එහි සැලසුම් තවම සකස් කර නෑ. බෙලිඅත්තෙන් කතරගම දක්වා යන දුම්රිය මාර්ගයට එය සම්බන්ධ කිරීමටයි සැලසුම තියෙන්නේ. මුදල් සොයාගත් වහාම පළමු අදියර ආරම්භ කරනවා. ඒ නිසා කහවත්ත දක්වා වු කැළණිවැලි දුම්රිය මාර්ගයේ යම් ඉදිකිරිමි, වෙනස් කිරීම් කරනවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීම අවශ්‍යයි.” නියෝජ්ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා කීවේය.

මේ වන විට වග සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානවල අතිරේක දුම්රිය ගාල් කිරිමට මාර්ග සකස් කිරීම්ද කර ඇත.

රජයක් ලෙස සහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන්නට මේ ප්‍රතිපාදන සපයාදීම කඩිනමින් කරනු ඇතැයි ජනතා විශ්වාසයයි.

”හූ…හූ….කොෂ්..කොෂ්…හූ.. හූ…” හඩ නංවමින් කෝච්චිය රත්නපුරේට එන තෙක් ජනතාව ඇගිලි ගණිමින් සිටිති… ”පහුගිය ආණ්ඩු ඔවුන්ගේ හිතවතුන්ගේ, කීම පිට මේ රත්නපුරේට කෝච්චියට එන්න දුන්නේ නෑ.. මේ ආණ්ඩුව එහෙම නොකරාවි යැයි ජනතාව විශ්වාස කරති.

01 .එදා රත්නපුර දුම්රිය ස්ථානය (ඡායාරූප අන්තර් ජාලය)

02. එදා ගැටහැත්ත දුම්රිය ස්ථානය (ඡායාරූප අන්තර් ජාලය)

03.එදා දුම්රිය ගාස්තු ලේඛනයක්(ඡායාරූප අන්තර්ජාලය)

04 ඇහැළියගොඩ දුම්රිය ස්ථානයේ අදටත් ඇති ගොඩනැගිල්ලක් (ඡායාරූප අන්තර් ජාලය)

05.. වග දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංවර්ධනය

06.තොරතුරු පනතින් ලබාගත් ලිපිය

07. අතහැර දැමූ දුම්රිය රක්ෂිතය යළි මැන මායිම් කණු දමා ඇති ආකාරය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *