L.නදීෂා
මෙරට තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාව වෙත පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු, කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණි.
ඔහු ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැඳී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර, ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ(12) රාත්‍රීයේ පැමිණ ඇත. එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැති 46 හැවිරිදි රත්නපුර,කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී, මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අවිස්සාවේල්ල, ගල්කිස්ස, රත්නපුර සහ තවත් අධිකරණ ක්‍රියාමාර්’ග සදහා යොමු කර තිබුණි .
නමුත් එම අධිකරණ මග හැර ඔහු බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී, ගමන් බලපත්‍ර නොමැතිව, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා, මොහු යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි.
ඔහු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
