සාමාන්‍ය පෙළ දරුවන්ට රාත්‍රී පාසල්

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

උතුරුමැද පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම අරමුණ ඇතිව සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් රාත්‍රී පන්ති පැවැත්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 

නියමු ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර අධ්‍යාපන කලාපයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් රාත්‍රී පාසල් ක්‍රමයක් ආරම්භ කළ බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි.

අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ සාමාන්‍ය පෙළ පන්ති පවත්වනු ලබන පාසැල් අසූ දෙකක් පමණ පවතින අතර එම පාසැල් අතරින් පාසල් පනස් පහක මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ගුරුවරුන්ගේ ස්වේච්ඡා සේවය මත සවස් කාලයේ සිට රාත්‍රී දහය පමණ වන තෙක් සතියකට එක් දිනය බැගින් මෙම රාත්‍රී පංති පැවැත්වෙන බව  පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

 නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම රාත්‍රී පංති පැවැත්වීම ඉදිරියේදී උතුරු මැද පළාත තුළම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවද ආණ්ඩුකාරවරයා පවසයි.

පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර , මහබුලංකුලම මහා විද්‍යාලයේ පැවති රාත්‍රී පන්ති නිරීක්ෂණය සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම වැඩසටහන සඳහා දෙමව්පියන්ගේ සහාය මෙන්ම ගුරුවරුන්ගේ ඉදිරිපත්වීමද ඉහළ තත්ත්වයක පවතින බවත් විශේෂයෙන් ගුරුවරුන් මෙම රාත්‍රි පන්ති පැවැත්වීම සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම රටටම ආදර්ශයක් බවත්  පළාත් ආණ්ඩුකාරවරයා  පැවසීය. ඉතා දුෂ්කර ප්‍රදේශවල සවස හයේ සිට උදෑසන හය දක්වා පන්ති පැවැත්වීමට   අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *