අජිත්ලාල් ශාන්තඋදය
සිරිපා වන්දනාවේ යන පිරිස් අත්වාරු (හැරමිටි) වෙනුවෙන් සමනල ස්වභාව රක්ෂිතයේ වැඩීගෙන එන පැල වර්ග විසි දහසකට වැඩි ප්‍රමාණයක් වසරකදි කපා දමන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සහ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මෙම විනාශය සිදුකරන බවද කියති.
හැටන් නල්ලතන්නිය මාර්ගයේ එන බැතිමතුන්ට පාර දෙපස යකඩෙන් අත්වාරු වැටවල් සවිකර ඇති නිසාත් එම මාර්ගයෙන් ස්වභාව රක්ෂිතයට පිවිසිමට ඇති අපහසුතාව නිසාත් වනාන්තරයට ඇතුලු වීමේ අඩුවක් දක්නට ඇති බවද කියැවේ.
සති අන්තයේ සහ දිර්ඝ නිවාඩු දිනවලදී සිරිපා කරුණා කරන පිරිස ලක්ෂ ගණනින් ඉහළ යයි. කුරුවිට එරත්න සහ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගවල අපහසුතා ඇති තැන්වල අත්වැටවල් ඉදිකර හැරමිටි වෙනුවෙන් වනාන්තරයේ පැලවර්ග කැපීම අවම කරවා ගතහැකි බව විකල්පයක් ලෙස පෙන්වා දී තිබේ.
මෙම මාර්ගදෙකේ ස්ථාන ගණනාවකදී පසුගිය වන්දනාවාර වලදි හැරමිටි දන්සැල් පැවැත්විණි. පැමිණෙන වන්දනාකරුවන්ගේ ප්‍රමාණය සැලකීමේදී හැරමිටි දන්සැල්වලින් ඉල්ලුමට සරිලන හැරමිටි ප්‍රමාණය සැපයිය නොහැකිය.
බොහෝ අවස්ථාවල දී රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පලාබද්දල හෝ පවනැල්ල ප්‍රදේශයේදී සහ කුරුවිට එරත්න මාර්ගයේ වර්ණගලදි මේ හැරමිටි දන්සැල් පැවැත්වෙයි. නමුත් සිරිපා කරුණා කරන පිරිස් වලට අත්වාරු අවශ්‍ය වන්නේ ආපසු ගමන් කිරීමේදී ආඩියාමළතැන්නේ දී, හැරමිටිපානේදී හෝ ඊට පහළදී බව වන්දනාකරුවෝ කියති.
රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය හැරමිටිපානේදි එක් මාර්ගයක් වෙයි. මලුවේ සිට ආඩියාමළතැන්න දක්වා මහගිරිදඹේ අත්වැට ඇතත් එතනින් පහළට අත්වාරු ඇත්තේ තැනින් තැන බව ද වන්දනාකරුවෝ අවධාරණය කරති.
සිරිපා වන්දනාවාරය එක් වර්ෂයක දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දිනයෙන් පටන්ගෙන ඊළඟ වර්ෂයේ මැයි මාසයේ වෙසක් පොහොය දිනය දක්වා හය මාසයක කාලයක් පැවැත්වෙයි.
(ඡායාරූප අන්තර් ජාලයෙනි)
15-01/02/03 සිරිපා මාර්ගයේ අත්වැටවල් ඇති මහගිරිදඹේ


