විමුක්ති එස් රුද්‍රිගු
කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 1 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ සහ ජර්මානු ජාතික 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණ අද(10) පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළාය.
කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල් 81003 අමිත් මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණය කර මෘත දේහය ජර්මනියට එවන ලෙස ඇයගේ මව මෙරට ජර්මානු තානාපති කාර්යාලය හරහා පොලිසියට දැනුම් දී තිබෙන බවත් රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගිය 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ මව දේහය බාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත්ය.
ඒ හේතුවෙන් මෘත ශරීර දෙකෙහි මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස පොලිස් කොස්තාපල් 81003 අමිත් මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාරයේ එකම කාමරයේ නවාතැන් ගැන සිටි විදේශිකයන් තිදෙනකු මෙලෙස පසුගියදා හදිසියේ රෝගාතුර වූ අතර ඉන් පිරිමි පුද්ගලයා හැර කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේදී මරණයට පත්විය. එම නේවාසිකාගාරයේ ඔවුන් නැවතී සිටි කාමරයට යාබද කාමරයට මකුණන් මර්ධනය කිරීමට ඉසූ පළිබෝධනාශක වායුවක් ඔවුන්ගේ මරණයට හේතු වන්නට ඇතැයි විමර්ශකයෝ මුල් අවස්ථාවේදී සැක පළ කළහ.
