මුහුදු යට ජීවත්වෙමින් ලෝක වාර්තාවක්

විමුක්ති එස් රුද්‍රිගු-

ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන 59 හැවිරිදි රුඩිගර් කොච්, අවපීඩනයකින් තොරව දින 120 ක කාලයක් මුහුදු යට ජීවත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට පසුගියදා සමත් වූවේය.

වර්ග අඩි 320 ක කුටියක් තුළ රුඩිගර් මෙලෙස දින 120 ක කාලයක් පැනමාවේ මුහුද යට ජීවත්ව ඇත. ලෝක වාර්තාව සාර්ථකව පිහිටුවීමෙන් පසුව රුඩිගර් පසුගිය 24 වැනිදා සාර්ථකව ජලය මතුපිටට පැමිණියේය. රුඩිගර් බිඳ දමනු ලැබුවේ මීට පෙර දින 100 ක කාලයක් ෆ්ලොරිඩා මුහුදේ දිය යට නවාතැනක ජීවත් වෙමින් ඇමෙරිකානු ජාතික ජෝශප් ඩිටූරි පිහිටවනු ලැබූ වාර්තාවයි.

වාර්තාව පිහිටුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුඩිගර් ප්‍රකාශ කර සිටියේ වික්‍රමාන්විතය අවසන් වීම පිළිබඳව සිතේ කණගාටුවක් තිබෙන බවත් රාත්‍රී කාලයේදී මුහුද යට දිස්වන ආකාරය වචනයෙන් විස්තර කළ නොහැකි බවත්ය. එම අත්දැකීම අනිවාර්යෙන්ම විඳගත යුතු අත්දැකීමක් බවද රුඩිගර් පැවැසුවේය.

රුඩිගර් දින 120 ක් මුහුද යට ජීවත්වූ වර්ග අඩි 320 ක කුටිය තුළ වැසිකිළියක්, රූපාවාහිනියක්, ඇඳක්, පරිගණකයක් සහ එයට අන්තර්ජාල පහසුකම්ද  තිබී ඇත. පැනමා වෙරළේ සිට විනාඩි 15 ක බෝට්ටු ගමනකින් ළඟාවිය හැකි දුරකින් කුටිය මුහුදේ ගිල්වා ඇති අතර ආහාර සහ වෛද්‍ය ආධාර ලබාදීමට එම කුටියේ සිට පඩිපෙළක් සහිත ටියුබයක් ජලය මතුපිටට පැමිණ තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *