යාපනය විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්  දේශන වර්ජනයේ

වවුනියාව මාධව කුලසූරිය –

යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (28) සිට නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනය කිරීමක් ආරම්භ කොට ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාලයේ සියළුම පීඨයන්හි ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්ව සිටින බවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනය කොට ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පෙරේදා (27) රැස්වීමෙන් අනතුරුව අදාල තීරණය ගෙන ඇති අතර, සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් තමන් දේශන වර්ජනය කිරීම සිදුකරන බවද විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සංගමය දන්වයි.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් නොදැක්වීම හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ශිවසුබ්‍රමනියම් රඝුරාම් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්ද විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ලබාදී තිබිණ.

විශ්ව විද්‍යාල ආචාරුයවරුන් ඉදිරිපත් කොට ඇති  ඉල්ලීම් වන්නේ,

01.විශ්ව විද්‍යාල සිසුන්ගේ විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කලා පීඨයේ පීඨාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා පිළිගත යුතුය. පීඨාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගත යුතු අතර, පීඨාධිපතිවරයාට නැවත සිය සේවය සිදුකිරීමට නිදහස් වාතාවරණයක් ස්ථාපිත කළ යුතුය.

02.විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන්ට එරෙහිව පසුගිය සභා රැස්වීමේදී ගනු ලැබූ යෝජනා ක්‍රියාත්මක කිරීම.

03.අක්‍රමිකතා හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් සාක්ෂි ප්‍රයෝජනයට නොගෙන විනය ක්‍රියාමාර්ග ගැනීම පාලනාධිකාරිය විසින් හිතාමතා ප්‍රමාද කිරීම හා විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන්ට දඬුවම්වලින් නිදහස් වීමට ඉඩදීමේ ක්‍රියාවලිය නවතා දැමීම.

04.ගණිත හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ ගේට්ටු කඩා  දැමු සිසුන් දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගත් පලනාධිකාරියට එරෙහිව පරීක්ෂණ පැවැත්විය යුතුයි. ශාස්ත්‍ර පීඨයේ විනය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ සිදුවීම්වලට විනය විරෝධි ක්‍රියාමාර්ග නොගත් පාලනාධිකාරියට විරුද්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරීක්ෂණ වෙනුවෙන් මැදිහත් කර ගැනීම.

05.ශාස්ත්‍රපීඨයේ හා විද්‍යා පීඨයේ විනය විරෝධි ක්‍රියාවන්ට පියවර නොගෙන ඉවත්ව යන විනය පාලක සභාවේ සාමාජිකයින් සම්බන්ධයෙන් විශ්වාසය පළුදුවි ඇති අතර, විනය පාලක සභාව වෙත අයදුම්පත් කැඳවා නව සාමාජිකයින් පත් කරගත යුතු බවත්, විනය පාලක සභාවට නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් කරගත යුතු බව.

යන්නයි.

අදාළ ඉල්ලීම් ඉටුවන තෙක් තමන් දේශනවලින් දින නියමක් නොමැතිව ඉවත්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *