අජිත්ලාල් ශාන්තඋදය
මින් ඉදිරියට කඳුකරයේ ”වතු” දෙමළ ජනතාව, ”මලෛගම්” දෙමළ ජනතාව ලෙස පිළිගැනීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා අවධාරණය කළේය.
ඒ අනුව කඳුකරයේ වෙසෙන දෙමළ භාෂාව කතාකරන ජනතාව පදිංචි ප්‍රදේශ ආශ්‍රිතව තිබු ‘වතු පාසල්, වතු රෝහල්, වතු ගම්මාන, වතු මාර්ග’ ආදිය මලෛගම් රෝහල්, මලෛගම් ගම්මාන, මලෛගම් මාර්ග ලෙස හැඳින්වීමට ද නියමිතය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා රත්නපුර කපිංච දෙමළ මහා විද්‍යාලයේ පැවති සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වෙමින් මේ තොරතුරු අනාවරණය කළේය.
මේ වර්ෂය අවසාන වනවිට මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 4350ක් ඉදිකර ඔවුන්ගේ අයිතියට පවරණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එසේම වතු ජනතාව හෙවත් මලෛගම් ජනතාවගේ දරුවන් ඉගෙන ගන්නා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ඉක්මනින් පියවන බව ද දැනුම් දුන්නේය.
කඳුකරයේ දෙමළ ජනතාවගේ දරුවන් ඉගෙන ගන්නා සමාගම් සතු වතු ඉඩම්වල ඇති පාසල්වල අයිතිය එම පාසල්වලට සින්නක්කර ඔප්පු මගින් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පොරොන්දු විය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ද එක්ව සිටියාය.
ඉංග්‍රිසි අධිරාජ්‍ය සමයේ ලංකාවේ කෝපි සහ තේ වගා කිරීමට දෙමළ භාෂාව කතාකරන මේ මලෛගම් ජනතාව දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආ බව සදහන්ය. වර්තමානයේ ජීවත්වන්නේ එසේ පැමිණි මුල් ජනකොටස්වල සිව්වන හෝ පස්වන පරපුර බව ඔවුහු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා දෙමළ ලෙස තමුන් පිළිගැනීමට ඔවුන් කැමති නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ උඩරට දෙමළ යන අර්ථය දෙන මලෛගම් යන අර්ථයෙන් තමන්ව හඳුන්වන ලෙසය.
වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් මේ ‘වතු දෙමළ’ යන නාමය වෙනස් කරන ලෙස ඉල්ලා සාමකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළහ