– කතෘ – මංගලනාත් ලියනආරච්චි, ත්‍රීකුණාමලය –
මෑත ඉතිහාසයේ ත්‍රීකුණාමලයේ ජනප්‍රියතම ඡන්ද පොරොන්දුව කන්තලේ සීනි කම්හලයි. 1994 සිට මේ දක්වා වු සෑම ජනාධිපතිවරණයකදී මෙන්ම මහමැතිවරණවලදීත්,අනෙකුත් ඡන්ද විමසීම් වලදිත් කන්තලේ සීනි කම්හල නැවත අරඹන බව කියමින් සිදුකල මුල්ගල තැබීම් සහ උත්සව ගණන හතරකි. ඒ වෙනුවෙන් වැය කල මුදල් සම්භාරය අතිමහත්ය. නමුත්, අද වන තුරුත් එකදු සීනි ඇටයක් හෝ නිපදවා නැත. අනූව දශකයේ මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිලිවෙල යටතේ වල පල්ලට ගිය ආයතන අතරින් කන්තලේ සීනි කම්හලට හිමි වන්නේ, ප්‍රමුඛ ස්ථානයකි.
1993 වසරේදී කම්හල් පරිපාලනය හා සේවකයන් අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් වැසී ගිය එවකට දකුණු ආසියාවේ විශාලතම සීනි කර්මාන්ත ශාලාව ගොඩ ගැනීමට මෑත කාලයේ බලයට පත්වු කිසිදු රජයකට නොහැකි විය. එහෙත්,ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වලට වලට පෙර කන්තලේ සීනි කම්හල නැවත ඇරඹීම පිලිබද කටමැත දෙඩු අවස්ථා නම් අඩුවක් නැත. බලයට පත්වීමට පෙර සීනී කම්හල ඇරඹීම සම්බන්දයෙන් සත්භාවයෙන් කටයුතු කල බොහෝ දෙනකු, බලය ලැබීමෙන් පසු වෙනත් අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම කන්තලේ සීනි කම්හල යථාර්තයක් නොවීමට බලපෑ ප්‍රමුඛතම කාරණයකි.
චෙකොස්ලැකියානු රජයේ ආධාර මත 1960 වසරේ ඉදිවු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 93 වසරේ වැසී යන විට එහි ස්ථීර සේවක සංඛ්‍යාව 3000 ඉක්මවු අතර, අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් සමග සමස්ථ සේවක සංඛ්‍යාව 6000 පමණ විය. විවිධ දේශපාලඥයන්ගේ අතකොලුවක් බවට පත්වු කන්තලේ සීනි කම්හලේ සේවක අතිරිත්තයද, කන්තලේ සීනී කම්හලේ විනාශයට බලපෑ බව රහසක් නොවේ.
1986 වසරේ අප්‍රේල් මස 20 දින කන්තලේ ජලාශය බිදී යාමත් සමග වසර කිහිපයක් උක් වගා කිරීමට නොහැකිවීම, කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන හා කොල සුදුවීමේ රෝගය වැනි කාරණා හේතුවෙන් එතෙක් මහා ධන සම්භාරයක් රටට දායාද කල කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පාඩු ලබන්නට වු අතර, එහි අවසාන ප්‍රතිඵලය වූයේ, සීනි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් පෞද්ගලිකරණයයි.
කන්තලේ සීනි කම්හල මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට ලක්වීමට ඉහත කරුණු අඩු වැඩි වශයෙන් බලපෑ බව පොදු පිලිගැනීම වුවද, ඊට එහා ගිය එහෙත්, බොහෝ දෙනකු කතා නොකරන තාක්ෂණික කාරණා කිහිපයක්ද ඒ තුළ ඇති බව ඇතැමෙකුගේ අදහසයි.
ඕනෑම කර්මාන්ත ශාලාවක නිෂ්පාදන යන්ත්‍රයකට ඵලදායි ආයු කාලයක් ඇත. එනම් ඵලදායි ආයු කාලය අවසානයේ, යන්ත්‍රය ක්‍රියාකාරි තත්වයේ පැවතියද, එහි ඵලදායි නිෂ්පාදන හැකියාව පහත මට්ටමක පැවතිය හැක. එහිදී සිදු කෙරෙනුයේ එම යන්ත්‍රය සදහා වන ප්‍රතිලාභ කිහිප ගුණයක් ලබා ගෙන එය භාවිතයෙන් ඉවත් කිරීම සහ නඩත්තු හා නිෂ්පාදන පිරිවැය අවම යන්‍ත්‍ර නැවත ආයෝජනය කිරීමයි. කන්තලේ සීනි කම්හල ස්ථාපිත කෙරෙනුයේ 1965 වසරේ වුවද, එහි යන්‍ත්‍ර සූත්‍ර අඩුම තරමින් නිෂ්පාදතය කර ඇත්තේ, 1955 වසරටත් පෙර මිස පසු කලක නොවේ.
1993 පමණ වන විට මෙම යන්‍ත්‍ර වල නිෂ්පාදන හැකියාව පහල මට්ටමක පැවතීම, බිද වැටීම් වාර ගණන වැඩි වීම, දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් සිදුවු සේවක අතිරික්තය වැනි කාරණා හේතුවෙන් උපයන ලාභයට එහා ගිය වියදම් මෙම කඩා වැඩීමට පාදක වු බව පෙනේ. නිසි කලට පැරණි යන්ත්‍ර සූත්‍ර ඉවත් කොට නව යන්ත්‍ර වෙත යාමේ ඉංජිනේරුමය කළමණාකාරිත්ව තීන්දු නිසි කලට නොගැනීමෙන් සිදුවු හානිය සුළුපටු නොවන බව යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන මහේෂ් චතුරංග මහතා පෙන්වා දෙයි. ඉංජිනේරු මහේෂ් චතුරංග මහතා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරියක වු අනුරාධා යහම්පත් මැතිණියගේ සම්බණ්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ කන්තලේ සීනි කම්හල නැවත ආරම්භ කිරීමට සාධනීය උත්සාහයක් දැරූ කණ්ඩායමක අයෙකි.
1993 වසරේ කන්තලේ සීනි කම්හල වැසී ගියද, අනතුරුව එලඹි සෑම මැතිවරණයකදීම ත්‍රීකුණාමලය මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වූයේ, කන්තලේ සීනි කම්හලයි. එහෙත්, එය යථාර්තයක් කිරීමට බලයට පත්වු කිසිදු රජයකට මේ තාක් නොහැකිවිය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඉකුත් මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ත්‍රීකුණාමලය උවර්මලෛ ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ, තම රජයක් යටතේ කන්තලේ සීනි කම්හල අනිවාර්යයෙන්ම ස්ථාපිත කරන බවත්, එතෙක් එහි පිහිටි භූමිය කෙටි කාලීන බෝග වගාව සදහා ගොවි ජනතාවට තාවකාලිකව නිදහස් කරන බවත්ය. ඒ අනුව මේ වන විටත්, කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000 ක ප්‍රමාණයක් නිදහස් කර ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කල විමසීමකට අනුව කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය තහවුරු කර සිටියි.
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඇතැම් දේශපාලඥයන් සිය බලය මෙන්ම දේශපාලන පැවැත්ම රැක ගැනීමේ තුරුම්පුව ලෙස කන්තලේ සීනි කම්හල යොදා ගත් අවස්ථා ඉතිහාසය පුරාම සුලබය. මහ මැතිවරණයෙන් පරාජයට පත්වන සේරුවිල ආසනයේ දේශපාලන බලවතාගේ ඊළඟ ඉලක්කය, වැසී ගිය කන්තලේ සීනි කම්හලේ සභාපති හෝ නිසි බළධරයාවීමයි.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වැසී ගිය දින සිට මේ දක්වා එකදු සීනි ඇටයක් හෝ නිපදවීමට කන්තලේ සීනි කම්හලේ පාලනය අතට ගත් ඒ දේශපාලඥයන්ට නොහැකිවීම අපගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට යැවු දේශපාලඥයන්ගේ වගකීම මෙන්ම වගවීම පිලිබදව බරපතල ගැටළු මතු කරවයි. එසේම වැසී ගිය සීනි කම්හලට අයත් සම්පත් අබලි ද්‍රව්‍ය ලෙස විකිණිමෙන් සහ අධිකරණ ක්‍රියා මාර්ග හරහා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ගැනීමට බලයේ සිටි දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද, ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන්ද පසුබට වී නැත.
2015 වසරේ බලයට පත්වු යහපාලන රජයේ පලමු සංවර්ධන ව්‍යාපෘතිය වූයේ, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමයි. ඊට මුල් වූයේ, එම රජයේ ප්‍රබලයෙකු වු දිවංගත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධණ මහතායි. කන්තලේ සීනි කම්හල නැවත ආරම්භ කිරීම සදහා ඔවුන් තෝරා ගෙන තිබුණේ, දේශීය ආයතනයක් වු එම්.ජී.සුගර් නැමැති ආයතනයකි. එය එස්.එල්.අයි. ඩිවලොප්මන්ට් නැමැති බ්‍රිතාන්‍ය සමාගමක හවුල්කාර සමාගමකි.
කන්තලේ සීනි කර්මාන්ත සමාගම පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිව්‍ය්‍රහගත කිරීම සදහා ඉදිරිපත් කෙරෙන යෝජනාවට 2015 පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, අදාල ගිවිසුමට 2016.08.11 දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතාද, එම්.ජී.සුගර් සමාගමේ බලය ලත් නිළධාරියෙකුද අත්සන් තබා ඇති බව කියවේ.
එම්.ජී.සුගර් සමාගම කන්තලේ සීනි කර්මාන්ත සමාගම නැවත ආරම්භ කරන බව කියමින් එසේ රජය සමග ගිවිසුම් අත්සන් කලද, අත්සන් තබන ලද ගිවිසුමේ දේපල වල අයිතිය සම්බන්ධයෙන් පවතින අපැහැදිලි තත්වයන් හේතුවෙන් එම්.ජී.සුගර් හා එස්.එල්.අයි. ඩිවලොප්මන්ට් යන සමාගම් සීනි කර්මාන්ත ශාලාව ඉදි කිරීම මගහැර කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අනුව අපේක්ෂිත ව්‍යාපාරික මෙහෙයුම සදහා යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා ඉඩමි වල ඇති ඉදි කිරීම් වල අයිතියද ඉල්ලා සිටීම මෙම ගැටළුවේ මූලාරම්භය විය.
කෙසේ වෙතත් එවකට හිටි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කන්තලේ සීනී කර්මාන්ත සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ඉහලම ලංසුවකට විකිණිමට 2017.08.09 දින පුවත්පත් දැන්වීමක් පලකරන අතර, එකී දැන්වීමට එරෙහිව නෛතිත ක්‍රියාමාර්ග වලට පිවිසෙමින් අදාල ආයෝජන සමාගම ශ්‍රී ලංකා රජයට එරෙහිව අතුරු තහනමක් ඉල්ලා සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙදුම්කරණ මධ්‍යස්ථානයේ බෙදුම් කරණ නඩුවක් පවරනුයේ, මුඛ්‍ය පරමාර්ථය වු සීනි කර්මාන්ත ශාලාව නැවත ඉදි කිරීම තව දුරටත් යථාර්තයක් නොවන බව ඔප්පු කරමිනි. මෙහිදී සිංගප්පූරු බෙදුම්කරණ මධ්‍යස්ථානය සීනී කර්මාන්ත සමාගමට අයත් යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර හා ගොඩනැගිලි විකිණිම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ශ්‍රී ලංකා රජය වලක්වාලමින් ආයෝජකයාට වාසි සහගත අතුරු සහනයක් නිකුත් කරණුයේ, නැති ජරමරයකට ශ්‍රී ලංකා රජය පටලවමිනි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිට තිබේ . බොහෝ විට නීතිපතිවරයා හෝ ඒ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ මැදිහත්වීමේ දුර්වලතාවයක් හේතුවෙන් මෙබදු අවාසි සහගත තීරණයක් ලැබෙන්නට ඇති බව ඇතැමෙකුගේ අදහසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්තලේ සීනි කම්හල සුරැකීමේ සංවිධානයේ සභාපති හිටපු පාර්මේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා මෙසේ කියා සිටි.
“යහපාලන රජය ඒ කාලේ තමන් වැඩ කරනවා කියලා ජනතාවට පෙන්වීමට තමා මේ ගිවිසුම කඩිමුඩියේ අත්සන් කෙරුවේ. ඇත්තටම මේ ගිවිසුමේ අත්‍යාවශ්‍ය කාරණා සම්බන්දයෙන් හරිහැටි කරුණු සදහන්ව තිබිලා නැහැ. ඉතින් අපේ නීතිපති ඇතුළු පිරිස මේ නඩුවට පෙනී සිටින්නේ, ඉතාමත් අවාසි සහගත ලිපි ලේඛණ සහිතවයි. අනික මේ ගිවිසුම කාගේ උවමනාවක් වුනත්, මේක සකස් කරන්නේ, අදාල අමාත්‍යාංශ වල නීති රීති සම්බන්ධයෙන් අවබෝධයක් සහිත විශාරදයන් මිස කාර්යාල ලිපිකරුවන්, සුළු සේවකයන් නෙවෙයි. මේ නඩුව සම්බන්ධයෙන් පෙනී සිටි නිළධාරීන්ට මෙම නඩුව දිනන්න උවමනාවක් තිබුණද කියලා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්න හැටියට මේ සදහා පෙනී සිටි අයට අදාල ලිපි ලේඛණ හෝ නොතිබුණු බව තමයි අපිට දැන ගැණීමට තිබෙන්නේ.. ඒක අපි දකින්නේ ඇත්තටම මේ දූෂිත නිළධාරීන්ගේ ඩීල් එකක් හැටියටයි.. දේශපාලඥයන්ගේ දූෂිත බවට නිළධාරීනුත් වග කිව යුතුයි..“
එම්.ජී.සුගර් හා එස්.එල්.අයි. ඩිවලොප්මන්ට් යන ආයෝජකයන් ඉන් අනතුරුව එම අධිකරණයේම තවත් නඩුවක් ගොනු කරනුයේ, කොටස් හිමිකාරිත්ව ගිවිසුමේ 7.1.1(අ),(ආ) හා (ඇ) වගන්ති විස්තර කර ඇති ඉඩම් පරිශ්‍ර සහ ඒ තුල පිහිටා ඇති සියළු යටිතල පහසුකම් යන්ත්ර සූත්‍ර,ගොඩනැගිලි හා එහි ඇති ඉදි කිරීම් ද ඇතුළුව සන්තකය හිමි බවට ප්‍රකාශ කරමින් ප්‍රධානයක් කරන ලෙස හා ගිවිසුමෙහි 7.9 වගන්ති අනුව 7.11(අ ) , (ආ ) හා (ඈ) දක්වා ඇති ඉඩම් හා පරිශ්‍ර සමග සියළු යටිතල පහසුකම් යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා එහි ඇති ඉදි කිරීම්වල සන්තකය ඇති සැටියෙන් සමාගම වෙත ලබාදීම සදහා ශ්‍රී ලංකා රජය වෙත නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් බෙදුම්කරණ මණ්ඩලය වෙත තවත් ඉල්ලීමක් කරමිනි.
කෙසේ වෙතත්, ඉඩම් අමාත්‍යාංශය විසින් එකී ඉඩම තුළ කොටස්කාර ගිවිසුමේ දක්වා ඇති ඉඩම් හා පරිශ්‍රයන් ආයෝජන සමාගම වෙත භාරදීමට කටයුතු නොකෙරුණු අතර රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටි එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වු ආචාර්‍ය අයි.එච්.කේ.මහානාම මහතාව 2018 මැයි මාසයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ එම්.ජී.සුගර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ.පී.නාගරාජා මහතාගෙන් අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මතය.
කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් ඇතිවන අලාභය ලෙස ඇ.ඩො.මිලියන 100 ක්, ඉදිරියටත් සිදුවන පාඩුව හේතුවෙන් මසකට ඇ.ඩො.මිලියන 5 බැගින් ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා වු උද්දමනය හේතුවෙන් වු පිරිවැය, ආදර්ශ අලාභයන් හා බෙදුම්කරණ සදහා වු පිරිවැය ඉල්ලා අදාල ආයෝජන සමාගම තවදුරටත් සිංගප්පූරු බෙදුම්කරණ මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබේ.
සිංගප්පූරු ජාත්‍යන්තර බෙදුම්කරණ මධ්‍යස්ථානය විසින් 2019.08.07 වන දින විද්‍යුත් තැපෑල මගින් අදාල පාර්ශවයන් වෙත අවසාන බෙදුම්කරණ තීරණය දැනුම් දෙනු ලැබු අතර, එකී තීරණය මත කටයුතු කරන ලෙස නීතිපතිවරයා රජයට උපදෙස් දී ඇත.
මෙහිදී විනිශ්චය සභාව විසින් ව්‍යාපෘතිය ප්‍රමාදවීම සදහා වන ඇ.ඩො.මිලියන 100 අලාභය, ඉදිරියට සිදුවන පාඩු වෙනුවෙන් මසකට ඇ.ඩො.මිලියන 5 බැගින් වන අලාභය හා ආදර්ශ අලාභය සදහා වන ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත්, විනිශ්චය සභාව විසින් පහත සදහන් තීරණ ඒකමතිකව ගෙන තිබේ.
1.ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය ශ්‍රී ලංකා රජය මගින් සිදුවී ඇති බව විනිශ්චය සභාව විසින් තීරණය කර ඇති අතර, එකී ප්‍රමාදය සදහා ව්‍යාපෘති පිරිවැය සදහා 15% ක වැඩීවීමක් පිරිනමා ඇත. ප්ප්ය ව්‍යාපෘති සැලසුම අනුමත වු විට පමණක් ගෙවිය යුතු බව සදහන් කර ඇත.
2.බෙදුම්කරණයට අදාල වියදමින් 50% න් වන සිංගප්පූරු ඩොලර් 626,877/54 ක් හා අතුරු නියෝගය විමසීම සදහා වියදම වන සිංගප්පූරු ඩොලර් 30,070 ක් වග උත්තරකරු වන ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු වේ.
3.හිමිකම් ඉල්ලා සිටින අයගේ නෛතික ගාස්තුවෙන් 95% ක් වන ඇමෙරිකානු ඩොලර් 237,569/83 ක ප්‍රමාණය වග උත්තරකාර ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු වේ. එසේම හිමිකම් ඉල්ලා සිටින පාර්ශවයේ සංචාරය හා නවාතැන් සදහා වන ආනුෂාංගික වියදම් වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 211,913/93 ක මුදල ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු වේ. ශ්‍රී ලංකා රජය දැනටමත් බෙදුම්කරණ ගාස්තුවේ අත්තිකාරම් ලෙස සිංගප්පූරු ඩොලර් 64,764 ක මුදලක් තැන්පත් කර තිබෙන අතර, අවසාන බෙදුම්කරණ තීන්දුව මත ගෙවිය යුතු මුදල මත පොලිය එකතුවීම වැලැක්වීම සදහා හැකි ඉක්මනින් ගෙවීම් සිදුකරණ ලෙස නීතිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් 2019 09.23 වන දින පහත කරුණු සදහා අනුමැතිය ඉල්ලා අමාත්‍යාංශ මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව කියවේ. එකී කැබිනට් සංදේශයට අනුව එම්.ජී.සුගර් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා රජය අතර සිංගප්පූරු ජාත්‍යන්තර බෙදුම්කරණ විනිශ්චය සභාවේ බෙදුම්කරණ 313/2017 හි අවසාන තීරණය සම්බන්ධයෙන් වන පහත ගෙවීම් සදහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරා ඇත.
බෙදුම්කරණ පිරිවැයෙන් 50% වන සිංගප්පූරු ඩොලර් 626,877/54 ක් හා අතුරු නියෝගය විමසීම සදහා වන ගාස්තුව වන සිංගප්පූරු ඩොලර් 30,070 ක මුදල, ව්‍යාපෘති සැලසුම අනුමත වීමෙන් පසුව ප්‍රමාදය නිසා ගෙවිය යුතු ව්‍යාපෘති පිරිවැයේ 15% ක වැඩිවීම, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 211,913/93 වන හිමිකම් පාර්ශවයේ සංචාර හා නවාතැන් සදහා වන අනුශාංගික වියදම්, හිමිකම් පාර්ශවයේ නෛතික ගාස්තු ලෙස ඇ.එ.ඩොලර් 237,569/83 ක වු මුදල ගෙවන ලෙස හා කොටස්කාර ගිවිසුමේ 7.1.1 (අ),(ආ) සහ (ඈ) වගන්තිවල විස්තර කර ඇති ඉඩම් හා පරිශ්‍ර ඒවායේ යටිතල පහසුකම්, යන්ත්ර සූත්‍ර, ගොඩනැගිලි හා එහි ඉදිකිරීම් සමග ඇති සැටියෙන් ආයෝජක ආයතනය වෙත භාරදීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ඉඩම් අමාත්‍යාංශයේ හා වැවිලි කර්මාන්තයේ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව බලන කල කන්තලේ සීනි සමාගම නැවත ආරම්භ නොකරම, අති විශාල මුදල් සම්භාරයක් ගිල ගැනීමට තරම් අදාල ආයෝජන සමාගම සමත් වී ඇත. කන්තලේ සීනී කම්හලේ එවකට පැවති නිෂ්පාදන ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 1200 කි. නමුත්, මේ වන විට සිදුකල සක්‍රියතා අධ්‍යයන මගින් හෙලිවී ඇත්තේ, මෙට්ට්‍රික් ටොන් 5000 ධාරිතාවයක් සහිත නව කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට වැය වෙන මුළු මුදල ආසන්න වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 200 වැනි අයෝජනයක් සිදු කිරීම සදහා ඉදිරිපත්වීමට දේශීය ආයෝජකයන් සිටියදී, විදෙස් ආයෝජකයන් තෝරා ගැනීම පිටුපස මහා පරිමාණ කොමිස් මුදල් හා වෙනත් වරප්‍රධාන හුවමාරු වන බවට ජනතාවගෙන් නැගෙන චෝදනාව බැහැර කල නොහැක. සීනී ඇටයක් හෝ නිෂ්පාදනය නොකළ විදේශීය ආයතනයකට ඩොලර් මිලියන දෙසීයකට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුවීම අප රටේ දේශපාලඥයන්ටත් වඩා රාජ්‍ය නිළධාරීන්ගේ වගවීම හා පාරිදෘෂ්‍ය භාවය පිලිබද කදිම පාඩමකි. එම මුදල නව සීනි කම්හලක් ඉදි කිරීමට වැය වෙන මුදලට සමාන වූවකි.
කන්තලේ සීනි කර්මාන්ත සමාගම නැවත ආරම්භ කිරීමේ අරමුණින් අදාල ආයෝජන සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුම කෙටුම්පත් කිරීමේ වගකීම යහපාලන රජය සමයේ සිදුවු බරපතල වැරැද්දක් බව පුන පුනා කිව යුතු නැත. රටට අහිතකර මෙවැනි ගිවිසුම් සකස් කිරීමේ වගකීම රාජ්‍ය නිළධාරීන් මත නොපවරා, ඒ සදහා දේශපාලන මැදිහත්වීම ආරෝපනය කිරීමේ පල විපාක මේ වන විට අඩුවකින් තොරව අපි භුක්ති විදිමින් සිටිමු.
2016 වසරේ මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා වැඩිම කාර්‍ය භාරයක් සිදු කොට ඇත්තේ, හිටපු ඉඩම් අමාත්‍ය දිවංගත එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතායි. එහෙත්, මෙම ගිවිසුම් කෙටුම්පත් කරනුයේ, රාජ්‍ය නිළධාරීන් මිස දේශපාලඥයන් නොවන බව සහ සුද්දක් සේ පැහැදිලිය. රාජ්‍ය නිළධාරීන්ගේ වගවීමේ ක්‍රියාවලීයේ ඇති අමනකම හේතුවෙන් රටට අහිමි වු මුදල් සම්භාරය ඊට සම්බන්ධ වූවන්ගෙන් නැවත අයකර ගත යුතු නොවේද යන්න සංවාදයට බදුන් විය යුතු කරුණකි.
වංචාව, දූෂණය පිටුදකින බව කියමින් හා රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බවට ජනතාවට පොරොන්දු වෙමින් අනතුරුව බලයට පැමිණි ගෝඨාභය රජයද පරණ තැටියම වාදනය කරමින් එකී ක්‍රියාදාමයට අනුගත වූවා මිස, එයින් ගොඩ එන ක්‍රමයක් පිලිබද අවධානය යොමු නොකල බවත්, පසුගිය කාලයේ බලයට පැමිණි කිසිදු රජයකට කන්තලේ සීනි කම්හල නැවත ස්ථාපිත කිරීමේ උවමනාවක් නොතිබු බවත් එහි හිටපු සේවකයෙකු වු ලයනල් සිල්වා මහතා කියා සිටි. ලයනල් සිල්වා මහතා බලයට පැමිණි ආණ්ඩු රැසකම දේශපාලන බලවතුන් සමග සමීපව කටයුතු කල අයෙකි. සෑම රජයකම කෙරුවාවල් හොදින් හදුනන්නෙකි.
“ බලයට එන්න කලින් තිබුණ උවමනාව බලයට ආවට පස්සේ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. ඡන්දේ කාලෙට සීනි කම්හල විකුණගෙන කන එක අපිට අමුතු දෙයක් නෙවෙයි. අපිත් මේකට තිබුණ ආදරේ නිසාම මේ අයට මාරුවෙන් මාරුවට රැවටුනා..කාලයක් ගිහින්, තිබ්බ මුල් ගල් ටික පැල වෙලා තියෙනවා දකින කොට තමා අපි රැවටිට්ච රැවටිල්ල කොච්චරද කියලා තේරෙන්නේ… “
යහපාලන රජය විසින් කුමන හෝ අවශ්‍යතාවයක් මත අත්සන් තබන ලද ඉහත ගිවිසුම තුලින් රටට අහිමි වු අතිමහත් මුදල් සම්භාරය සුළු පටු නොවේ. කෙසේ වෙතත්, එබදු රටට අහිතකර ගිවිසුම් අක්‍රීය කිරීමේ නිශේදාත්මක 3/2 බලයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබී තිබියදීත්, එම රජයත් එකී ගිවිසුම යාවත් කාලීන කිරීම මවිතය දනවන්නකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වු පසුවද, නැවත වරක් මෙම රටට අහිතකර ගිවිසුම කුමන හෝ අරමුණකින් තව දුරටත් ක්‍රියාත්මක කිරීමට 2020.01.30 වන දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනුයේ, රටේ ජනාධිපතිවරයා, ජනතාව පමණක් නොව, එකී රජයේ බලගතු අමාත්‍යවරුන්ද නොමග යවමිනි. එය කවර හේතුවක් මත සිදු කලේද යන්න අදටත් පැහැදිලි නැත.
පසුගිය රජය නියෝජනය කල ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් හිටපු පාර්මේන්තු මංත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ බලවත් ඉල්ලීමකට අනුව ගෝඨාභය රජයේ නිළ නොලත් ප්‍රබලයා වු බැසිල් රාජපක්ෂ මහතා විසින් කන්තලේ සීනි කම්හල ආශ්‍රිත ගොවි ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කළ බඩ ඉරිගු වගාවද, ලත් තැනම ලොප් වූයේ, මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය නොමග හරිමින් අදාල ගිවිසුම තව දුරටත් යාවත් කාලීන කර තිබීම හේතුවෙනි.
එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020.01.30 වන දින ඉදිරිපත් කර ඇති එම්එෆ්ඊ/එල්ඒ/01/සීඑම්/2020/011 කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව තව දුරටත් එම්.ජී සුගර් හා එස්.එල්.අයි.ඩිවලොපර්ස් පුද්ගලික සමාගමට අනුමැතිය ලබා දී ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා විසින් තම බාල සහෝදරයා වු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගොනාට අන්දවමිනි. මේ හේතුවෙන් සිය අභිප්‍රායන් සියල්ල අහිමි වු කන්තලේ ජනයාට සිදුව ඇත්තේ, නැවත නැවතත් අපේක්ෂා භංගත්වයට පත්වීමටය.
පසුගිය කාලයේ කන්තලේ සීනි කම්හල වෙනුවෙන් වැඩිම හඩක් නැගුවේ, ජනතා විමුක්ති පෙරමුණයි. කන්තලේ සීනි කම්හල වෙනුවෙන් හඩ නැගු සුනිල් හදුන්නෙත්ති මහතා වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයායි. එසේම කන්තලේ සීනි කම්හල සම්බන්දයෙන්වු ගිවිසුම් අවලංගු කිරීම මහ ලොකු කජ්ජක් නොවන බව එදා ප්‍රකාශ කල නාමල් කරුණාරත්න මහතා වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයායි. ඔවුන් එදා සිදු කල ප්‍රකාශ කටින් බතල කොල සිටුවීමක් නොවන බව ජනතාවට ඔප්පු කිරීමට කාලය එලඹ ඇත.වඩාත් සරළව කිවහොත්, මේ රජය පිළිබද විශ්වාසය තැබු සුවහසක් ජනතාවට ජාතික ජනබලවේගය කයිවාරු කාරයන් නොවන බව ඔප්පු කිරීමට ඇති හොදම අවස්ථාව කන්තලේ සීනි කම්හලයි.
කන්තලේ සීනී කම්හලේ අරගලය සිය ජීවිතයේම කොටසක් කර ගත්, කන්තලේ සීනී කර්මාන්ත ශාලා සුරක්ෂිතයේ කැදවුම්කරු මෙන්ම ජාතික ජනබල වේගයේ ක්‍රියාකාරිකයෙකු වන ඉන්දික පරණවිතාන මහතා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ඇති හැකියාව සහ ඔවුන්ගේ සැලසුම් සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.
“ මේ සීනී කම්හල අවුරුදු තිස් එකක් පුරා විවිධ ආණ්ඩු , විවිධ පාර්ශවයන් මුල් ගල් තියමින්, විවෘත කිරීම් කරමින් තම දේශපාලනයේ ප්‍රවර්ධනය සදහා යොදා ගත්තා. ජනාධිපතිවරණ, මහ මැතිවරණ හා පළාත් සභා දක්වාම මේක විකුණන් කෑවා. අපි එදා ඉදන් කිව්වේ, දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු හරහා භූමියේ අයිතිය අප සතුව තබා ගෙන, රැකියා අවස්ථා අප සතුව තබා ගෙන මේ පරිශ්‍රය තුල සීනි කර්මාන්ත ශාලාවක් පිහිටවිය යුතුයි කියලයි.. ඒ වගේම එම්.ජී.සුගර් සමාගමත් එක්ක තිබෙන නෛතික ගැටළු විසදා ගැනීමට හැකි බව මුදල් අමාත්‍යාංශය සහතික කරනවා. ඉතින් මෙහිදී දෙපාර්ශවයම සාකච්ඡා මාර්ගයෙන් මෙහි අයිතිය පිලිබද ගැටළුව විසදා ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එහා වෙනත් කිසිම ආණ්ඩුවකට මේක ගැටළුවක් කර ගන්න අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ කන්තලේ සීනි කම්හල සැබෑවක් වන බව සහතික කරනවා.. “
කන්තලේ සීනි කම්හල නැවත ගොඩ නැගීම සම්බන්දයෙන් හා ඒ සම්බන්දයෙන් බලපා ඇති කරුණු කාරණා ලිහා ගැනීම සුළු පටු සරළ කාරණයක් නොවන බව බොහෝ දෙනකු නොදන්නා කාරණයකි.මේ වන විට උක් වගාව සදහා කන්තලේ ජලාශයෙන් ජලය නිකුත් කිරීමට ඇති නොහැකියාව ඒ අතරින් ප්‍රබලය. එසේම රජය එම්.ජී.සුගර් සමාගම සමග පවතින නොවිසිදුණු ගැටළු, වන අලි ගැටළුව වැනි කාරණා බැහැර කල නොහැක. මේ සම්බන්දයෙන් අදහස් දක්වන ඉංජිනේරු මහේෂ් චතුරංග මහතා දරන්නේ මෙවන් වු අදහසකි.
“ශ්‍රී ලංකා රජය ගිවිසුමේ කොන්දේසි කැඩුවා කියලා 2017 අවුරුද්දේ දාපු නඩුව 2019 වසරේදී අවසන් වෙනවා. හැබැයි, ඒ එක්කම ආයෝජන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිදු වන නීතිමය ගැටළුවක් හේතුවෙන් මේ කොමිපැනිය අදාල වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. ඒ තත්වයට ආයෝජන සමාගම සෘජුවම වග කියන්න ඕනේ. ඒකට ශ්‍රී ලංකා රජය වගකිව යුතු නැහැ.. ඒක නිසා මේ සම්බන්ධයෙන් එකගතාවයට ඇවිත්, මෙම ගිවිසුමෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හොදටම තියෙනවා. ඊට පස්සේ, දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛතාවය දෙමින් ටෙන්ඩර් කැදවා සුදුසු අපේක්ෂකයකු තෝරා පත්කර ගැනීම රජයට කල හැකියි. ඒ සදහා රජයත් මැදිහත්වීමක් කල යුතුයි. මොකද මෙහි 51% රජය සතුයි. .කරන්න උවමනාව තියෙනවා නම්, ඇත්තටම මෙය මේ රජයට කල හැකි බව තමා මගේ අදහස..”
බලය නොමැති කල පට්ට ගැසු ජනප්‍රිය සටන් පාඨ යථාර්තයක් කිරීම ඇතැම් විට හිතන තරම් පහසු නොවනු ඇත. එය බොහෝ විට බලය අහිමිවීමට තවත් ප්‍රබල සාධකයක් වනු ඇත. එදා කන්තලේ සීනී කම්හල තම දේශපාලන පීඨිකාව කරගත් පක්ෂ, කංඩායම් එය තරයේ සිහිතබා ගත යුතුය.
දශක ගණනාවක් පුරා කන්තලේ ප්‍රදේශයට මහත් ආලෝකයක් වු කන්තලේ සීනී කම්හල අද වන විට ඔත්පල වු යෝධයෙකු බදුය. ඔත්පලවු යෝධයෙකු නගා සිටුවීම හිතන තරම් පහසු නැත .එය සත්භාවයෙන් කල යුතු කාර්‍යයකි. ඒ සදහා වඩාත් සුදුස්සා වත්මන් රජය බව පක්ෂ භේදයකින් තොරව කන්තලේ සීනි කම්හලට ආදරය කරන වැඩි දෙනෙකුගේ අදහස බව රහසක් නොවේ.
“ඇත්තටම ජ.වි.පෙ ආණ්ඩුවටත් බැරි නම්, මේ කන්තලේ සීනි කම්හල ගොඩ දාන්න.. ආයේ කවදාවත් අපි කන්තලේ සීනි කම්හල ගැන කතා කරන්නේ නැහැ….’’ එසේ කියන්නේ ,කන්තලේ සීනි කම්හල සිය ආත්මය කර ගත්, එහි පැරණිතම සේවකයෙකු වන ගාමිණි සමරසේකර මහතායි.
වසා දැමුනු කන්තලේ සීනි කම්හල

දිරා පත් වෙමින් යන වාහන සහ උපකරණ


ගාමිණි සමරසේකර

හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ජයන්ත විජේසේකර

ඉංජිනේරු මහේෂ් චතුරංග

ඉන්දික පරණවිතාන

ලයනල් සිල්වා

අනෙකුත් ඡායාරූප


