සංජීවනී පද්මසේන
වරින් වර මිනිස් ඇසට පෙනී නැවත අතුරුදහන් වන ආදරණීය අග්බෝ ඇත් රජුට මේ දිනවල මද කිපී තිබෙන බව වාර්තා වේ.
එය අග්බෝට ආදරය කරන බොහෝ වනජීවී ලෝලීන්ට නම් සතුටුදායක පුවතක් වනු ඇත. මන්ද යත් අග්බෝ නැවත මද කිපෙන තත්ත්වයට පත් වීම යනු බොහෝ වෙඩි ප්‍රහාර හා නේක විද කුරිරුකම් වලට ලක්ව ලබා දුන් අනේක විද ප්‍රතිකාර හමුවේ මද කිපීමේ තත්ත්වයෙන් මිදී සිටි අග්බෝ නැවත මද කිපීම යනු ඔහුගේ ශරීරය යළිත් සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පත් වීමේ සුවිශේෂී සලකුණක් බැවිනි.
අග්බෝ Truth පාඨකයන්ට අමුත්තෙකු නොවන්නේ ඔහු වරින් වර truthlk වෙබ් අඩවිය තුළ පුවත් මවන්නෙකු වන බැවිණි.
හුදෙකලාව සැරි සැරූ මේ හස්තියා මේ දිනවල රංචුවල ගැවසීමට ප්‍රිය කරන බවත් රූබර ඇතින්නියන්ට අනඟ බැලුම් හෙලීමට ප්‍රිය කරන බවත් අසන්නට ලැබීම ඉතා සතුටුදායක පුවතකි.
එමෙන්ම තවත් නාබර සද්දන්තයෙකු වූ සුරනිමල ඇතු සමඟ සුලු සුලු දබරයන්ට පැටලී තුවාල සිදු කරගෙන ඇති බව ද වාර්තා වන අතර මේ සියල්ල අග්බෝ යථා තත්ත්වයට පත් වීමේ සලකුණු බව වනජීවී විශේෂඥයෝ සතුටින් දැනුම් දෙති.
මහ කනදරාව වැව් ඉස්මත්තේ ද මහා වන පෙතෙහි රූස්ස ගස් අතරින් ද වරින් වර මතුවන අග්බෝ ඇත් රජුන් සුවය ලැබීම යනු සොබා දහමට ආදරය කරන බොහෝ දෙනෙකුගේ සතුටට කරුණක් වන අතර අග්බෝට දීර්ඝායුෂ ලැබේවා!! යන්න ඔවුනගේ පැතුම වනු ඇත.


