දරුවන්ගේ සිහින වල ලන මඩ ගොහොරුවක් වූ තිරප්පනේ මහානාම විද්‍යාලීය ක්‍රීඩාපිටිය

සමන් පෙරේරා  

ඉකුත් යහපාලන සමයේ ක්‍රියාත්මක වූ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අදාළව රුපියල් කෝටි 2.5 කට ආසන්න මුදලක් වැයකරමින් ප්‍රතිසංස්කරණය කළ අ/ තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වැස්සට තනිකරම මඩ ගොහොරක්වීම හේතුවෙන් වසර නවයකට පසු අද (29) දින පැවැත්වීමට නියමිතව තිබූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කල් දැමීමට පාසල් කළමණාකාරීත්වය කටයුතු කර ඇත.

මෙම අවිධිමත් ක්‍රීඩා පිටිය සංවර්ධනය හේතුවෙන් 2016 වර්ෂයේ සිට වසර 9ක් විධිමත් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක අත්දැකීම මහානාමයේ දරුවන්ට අත්විඳින්නට නොලැබීම මහත් ඛේදවාචකයක් බව මව්පියෝ පවසති.

මේ දිනවල සවස් කාලයේ ඇදහැලෙන වර්ෂාවත් සමඟ වැසි ජලය ක්‍රීඩා පිටියේ රැඳීතිබෙනුයේ පිහිනුම් තටාකයක දසුන් මවමිනි. මේ නිසා ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනු තබා සාමාන්‍යයෙන් ඇවිද යෑමටවත් බැරි මට්ටමේ පවතී. මේ නිසා ගුරුභවතුන්ගෙ මගපෙන්වීම මත  දරුවන් වෙහෙස මහන්සියෙන් පුරුදු පුහුණු වී අපේක්ෂා දල්වා තිබූ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කල් දමා තිබේ. 

මෙම අවිධිමත් ක්‍රීඩා පිටිය සංවර්ධනය පිළිබඳ සිදුව ඇති අක්‍රමිකතාවයන් ගැන දිගින් දිගට ම දෙමාපියන් විසින් ඉකුත් රජයයන් වෙත ඉල්ලීම් කළත් මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවට දෙමාපියන් පවසයි. මෙම අවිධිමත් සංවර්ධනය නිසා මහානාමයේ දූ දරුවන්ගේ ක්‍රීඩා අයිතිය වසර 9ක් තිස්සේ පැහැරගැනීම පිළිබඳ වගකීමට කිසිවෙකුත් නොමැතිවීම ද  මහත් කණගාටුවක් බව දෙමව්පියෝ පවසති.

එබැවින් මහානාම දරුවන්ගේ ක්‍රීඩා අයිතිය සුරැකීම සඳහා වත්මන් රජයේ හෝ අවධානය යොමු කර ඒ වෙනුවෙන් යුක්තිය ඉටුකරදෙන ලෙස දෙමාපියෝ අදාළ බලධාරීන්ගේන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳ තිරප්පනේ මහානාම විද්‍යාලයීය විදුහල්පති අනුර වන්නිනායක මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ කීය.

” ඇත්තටම වසර කීපයකින්ම අපිට විධිමත් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද ක්‍රීඩා පිටිය දරුවන්ට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයේ නොමැති නිසා. නමුත් මේ වසරේ දෙමව්පියන්ගෙන් ලැබුණු බලවත් ඉල්ලීම මත නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා. ඒත් අයහපත් කාලගුණය නිසා ක්‍රීඩා පිටියේ ජලය රැඳීම හේතුවෙන් මෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අපට කල් දැමීමට සිදුවුණා.  අපේ ගුරුවරු, දරුවෝ බොහෝ වෙහෙස මහන්සි වුණා;විචිත්‍රවත් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් මෙවර පවත්වන්නට. අපි ලබන සතියේදී හෝ මේ ක්‍රීඩා උත්සවය බාධක මැද හෝ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *