බසවක්කුලම වැවේ දී අකුණු සැර වැදී පස්දෙනෙක් රෝහලේ

 කිත්සිරි වනසිංහ 

අනුරාධපුර බසවක්කුලම වැවේ දිය නාමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අකුණු සැර වැදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.

ඊයේ (27) පස්වරු 4.00 පමණ මෙම අකුණු සැරවැදීම සිදුව තිබේ. බසවක්කුලම වැවේ වැව් බැම්ම මත වූ ගසකට පතිත වුණු අකුණක්  හේතුවෙන් මෙම පස් දෙනා හට ඇති වූ කම්පනය  සහිත  තත්වයක් මත රෝහල් ගත කර ඇත.

එක් කාන්තාවක් සහ  පිරිමි පුද්ගලයන් හතර දෙනකු  මෙලෙස රෝහල් ගත කළ බව රෝහල් පොලිසිය සඳහන් කරයි.  ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය  බරපතළ බවද එම ප්‍රකාශකයා මව්බිමට පැවසීය.

මෙම පස්දෙනා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එහි පවතින කාර්ය බහුලතාවය හේතුවෙන් රෝගීන් පිළිබඳව සඳහනක් කළ නොහැකි බව හදිසි ප්‍රතිකාර ඒකකයේ නිලධාරියෙකු මව්බිම කළ විමසුමේදී පැවසීය.

පයාගල ප්‍රදේශයේ සිට අනුරාධපුර උඩමළුව වන්දනාවේ පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *