සමන් පෙරේරා
පසුගිය දා පැවති 2024 (2025) පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කුසලතා ප්‍රථම ස්ථානය හා දිවයිනේ 7 වන ස්ථානය දිනා ගැනීමට අ/ තිරප්පනේ මහානාම මහානාම මහා විද්‍යාලයේ ඉමල්ක ප්‍රමෝද් සිසුවා සමත් වී ඇත.
අනුරධපුර දිස්ත්‍රික්කයට අයත් මධ්‍ය විද්‍යාල, ජාතික පාසල් ඇතුළු නගරයේ ප්‍රධාන පාසල් අභිබවා තිරප්පනේ මහානාම මහා විද්‍යාලය කලා අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකිරීමට සමත්වීම කැපී පෙනෙන ජයග්රණයකි.
එමෙන් ම උසස් පෙළ නව විෂය නිර්දේශය හදුන්වාදීමෙන් පසු කලා අංශයේ ජාතික කුසලතාවයේ මුල් දස දෙනා අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාසල් ශිෂ්‍යකු වසර පහකට පසු පැමිණීම ද මෙම ජයග්‍රහණයේ තවත් සුවිශේෂත්වයක් වී ඇත.
එමෙන්ම කලා අංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සිව්වෙනි ස්ථානය හිමිකර ගැනීමට ද තිරප්පනේ මහනාම මහා විද්‍යාලයේ අරුණි ඉෂාරා ශිෂ්‍යාව සමත් වී ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳ ඉමල්ක ප්‍රමෝද් ශිෂ්‍යයා මෙසේ කීය.
“…ඇත්තට ම මේ ජයග්‍රහණය මගේ ජීවිතේ ලැබූ විශේෂ ජයග්‍රහණයක්. මේ සඳහා මට මගේ පාසලෙන් ලැබුණු සහය මෙතෙකැයි කියලා නිම කරන්නට බැහැ. විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සුවිශාල වූ දායකත්වයක් මට ලබාදුන්නා. මම උසස් පෙළ විෂයේ අවුරුදු දෙකම පාසල් ගියපු ශිෂ්‍යයෙක්. ඒ නිසයි මා දැඩි විශ්වාසයකින් කියන්නේ මගේ පාසලෙන් මට ලොකු දායකත්වයක් මේ ප්‍රතිඵලයට ලැබුණා කියන එක.
මම කලා විෂයන් විදියට භූගෝලය, කෘෂිකර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන් තමයි හැදෑරුවේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ මම බෞද්ධ ශිෂ්ඨාචාරය කියන විෂයට කිසිදු උපකාරක පංතියකට හෝ පුනරීක්ෂණ පන්තියකට සහභාගි වුණේ නෑ. ඒ සියලු විෂය නිර්දේශය ආවරණය කරගත්තේ මම මගේ පාසලෙන්.
මම එදිනෙදා අධ්‍යයන වැඩ කටයුතු එදිනෙදාම කාලසටහනකට අනුව කිරීම මගේ ජීවිතයේ පුරුද්දක් කරගත්තා. මම පාසලේ විවිධ බාහිර වැඩසටහන්වලට සහභාගි වුණා. ශිෂ්‍ය නායකයෙකු ලෙස වසර කීපයක් ම කටයුතු කළා. ඒ වගේම විවාද කණ්ඩායම, සමාජවිද්‍යා තරග වැනි විවිධ විෂය සමගාමී තරග වලටත් මම සහභාගි වුණා. ඒවගෙන් ජයග්‍රණය කළා. ඒ අත්දැකීමුත් මේ ප්‍රතිපලයට මට උදව් වුණා.ඉතිං ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් තමයි මට මේ ප්‍රතිඵලය ගන්න පුලුවන් වුණේ.
ඒ වගේම තමයි පාසලේ ගුරුවරුන් වගේම මගේ ගෙදරින් ලැබුණු සහයෝගයත් අති විශාලයි. අම්මා, තාත්තා අක්කා මේ සඳහා මට ලොකු දායකත්වයක් ලබා දුන්නා. අද මට හරිම සතුටුයි. අම්මා, තාත්තගේ, අක්කගෙ බලාපොරොත්තු ඉටු කරමින් හොඳ ප්‍රතිඵලයක් ලබාදීමට හැකිවීම පිළිබඳ මා අසීමිත සතුටක් ලබනවා.
මේ ජයග්රහණයෙන් පස්සේ මගේ එකම හීනය බවට පත්වෙලා තිබෙන්නේ නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥවරයෙකු හැටියට රටට දැයට සමාජයට සේවයක් කිරීමයි.
මේ ජයග්‍රහණය පිළිබඳ තිරප්පනේ මහානාම මහා විද්‍යාලයීය විදුහල්පති අනුර වන්නිනායක මහතා මෙසේ කීය.
” අපේ දැක්ම වෙලා තිබුණේ 2025 කලාපයේ විශිෂ්ටතම පාසලවීම. ඇත්තටම සතුටුයි නියෝජ්‍ය විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය,අනධ්‍යන සේවක මණ්ඩලය, දෙමාපියන් ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ කැපවීම මත ඒ ඉලක්කය කරා මේ ප්‍රතිඵලයත් සමඟ අපට ළඟා වෙන්නට පුළුවන් වුණා.
ඉමල්ක ප්‍රමෝද් පාසලේ හිටපු දක්ෂතම ශිෂ්‍යයෙක් ඔහු. පන්ති කාමරයේ අධ්‍යයන කටයුතු වගේම විෂය බාහිර කටයුතුවලදීත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙක්. ගුරුවරුන්ගේ හොඳ හිත දිනා ගනිමින් හොඳ පෞරුෂ ලක්ෂණ සහිත දරුවෙක් හැටියට ගුරුවරුන් වැඩිපුරම කතාබහ කළා.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අතින් අපි බලාපොරොත්තුවෙන් හිටියා ගියවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අතින් වගේම මෙවර උසස් පෙළ ප්රතිඵලවලින්ද අපේ දරුවෝ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනීවි කියලා. ඉතින් ඇත්තටම සතුටුයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයා, දිවයිනෙන් ම හත්වෙනියා, ඒ වගේම දිස්ත්‍රික් සිව්වැන්නා ඇතුළු තවත් විශිෂ්ට ප්‍රතිපල රැසක් ම තිරප්පනේ මහානාම මහා විද්‍යාලයට ලබාගැනීමට හැකිවීම පිළිබඳ ඉමහත් සතුටක්, ආඩම්බරයක් දැනෙනවා. මේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ පළාත් අධ්යක්ෂතුමා, කලාප අධ්යක්ෂතුමා ඇතුළු විශේෂයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ප්‍රධාන මාගේ ආචාර්ය මණ්ඩලයට ගෞරවණීය ස්තුතිය පුදකර සිටිනවා.


