යසංග මහවිතාන
සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් මහතා අද අලුයම ජීවිතක්ෂයට පත් වූබව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් බරපතල තුවාල ලබා තිබුණි.
ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත් අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී ඊයේ රාත්‍රී 9.10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. මෙය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් බව කියැවේ.මෙම සිදුවීම සිදුව ඇත්තේ එහි පැවති පක්ෂ රැස්වීමක් අතරතුර බව ද වාර්තාවේ.
ඔහුට වෙඩි පහර හතරක් වැදි ඇති අතර, දෙකක් පපු ප්‍රදේශයටද අනෙක් දෙක උරහිස් ප්‍රදේශයටද එල්ල වී ඇති බව සඳහන් වේ.
බරපතල තුවාල ලද ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුල් කරන ලදුව හදිසි ශල්‍යකර්මයක් සඳහා සූදානම් කෙරිණි. එහෙත්ම සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩෑන් ප්‍රියසාද් මහතා පොදු ජන එක්සත් පෙරමුණ යටතේ කොළොන්නාවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටියේය.
පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ හෙතෙම ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිදුවීමේ හයවන විත්තිකරුලෙසද නම් කර තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබාඇති අතර මේ වනවිට ඔහුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය මගින් සිදු කරනු ලබයි.
