කනදරාව ගල් පාලම විනාශ වෙන්න ඇරලා

සමන් පෙරේරා 

ශ්‍රී ලාංකේය උරුමය ලොවට කියාපාමින් දෙස් විදෙස් පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූ ඓතිහාසික නිර්මාණයක් ලෙස පිළිගැනෙන මිහින්තලේ මහ කනදරාව ගල්පාලම වසර කිහිපයක සිට වල් බිහිවෙමින් විනාශයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

මිහින්තලේ මහ කනදරාව වැවට නුදුරින් කනදරා ඔය හරහා පුරාණයේ ඉදිකර තිබෙන මෙම ගල් පාලම දිගින් අඩි 78ක් වන අතර පළල අඩි අට හමාරක් පමණ වේ. එය ශක්තිමත් කළුගල් කණු මත ගල් පුවරු අතුරා ඉදිකර ඇත්තේ එදා රජ දවස විසූ අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ        හැකියාව මැනවින් පිළිබිඹු කරමිනි.

ක්‍රිස්තු වර්ෂ 276- 303 සමයේ රජ කළ මහසෙන් රජු විසින් මහ කනදරාව වැව ඉදිකරන ලද කාලය තුළ මෙම ගල් පාලම කනදරා ඔය හරහා ඉදිකරන්නට ඇති බවට පුරාවිද්‍යා අංශ සඳහන් කරයි. ඒ බව මෙම ගල් පාලම අසල සවිකර තිබෙන පුවරුවක සඳහන්ව ඇති බව ද පැවසේ.

අනුරාධපුර ඇළ හා ඔය මාර්ග හරහා පෙර රජ දවස ඉදිකළ ගල් පාලම් කිහිපයක නෂ්ඨාවශේෂ අදත් දක්නට ඉතිරිව ඇතත් ඒ හැම එකකටම වඩා පෙර රජ දවස ඉදිකළ තත්ත්වයෙන්ම තවමත් ශක්තිමත්ව මෙම කනදරා ගල් පාලමේ තිබීම විශේෂත්වයකි.

බොහෝ කාලයක් කැළයට යටවී පැවති මෙම ඓතිහාසික උරුමය 1990 දශකයේ අගභාගයේ දී මහ කනදරාව ප්‍රදේශවාසීන්ද සහාය ඇතිව එළිපෙහෙළි කොට ලක්වාසීන්ගේ පමණක් නොව ලෝකවාසීන්ගේද අවධානයට යොමු කරවී ය.

ඉන්පසු දශකයකට වැඩි කාලයක් මෙම ගල් පාලම හා ඒ අවට ප්‍රදේශය එළිපෙහෙළිව තබා ගනිමින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට එය දැක බලා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විශ්වවිද්‍යාල සිසුන්ට හා පුරාවිද්‍යාඥයින්ටත් ඉඩ ප්‍රස්ථාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දී තිබුණි.

නමුත් මේ වන විට එම ගල් පාලම කැලෑවට ගොස් එය විනාශ වෙමින් පවතින බවට ගම්වාසීහු චෝදනා නගති, ඔවුන් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම ඓතිහාසික ස්ථානය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන නිසා අද මෙලෙස විනාශයට පත්ව යන බවයි.

විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස කනදරා ගල් පාලම හඳුනා ගත්තද, මේ වන විට එම ගල් පාලම නැරඹීමට එන විදේශිකයින් මෙන් ම දේශීය සංචාරකයින් ද මෙම ස්ථානය නැරඹීමට පැමිණ නැවත ආපසු හැරී යන බවට ඔවුහු ප්‍රකාශ කරති.

විදෙස් සංචාරකයින් මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන විට රටට ඩොලර් ගෙන එන අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙවැනි ස්ථාන ආරක්ෂා  කළ යුතු බව ද ගම්මූ කියති.  එදා හෙළ රජවරුන්ගේ විශ්මිත නිර්මාණයන්  දිනෙන් දින විනාශයට නොයවා ආරක්ෂා කළ යුතු බවත් ප්‍රදේශවාසීහු පවසති.

පාසල් ඉතිහාස පොතට පවා කණදරා ගල්පාලම ඇතුළත් වී තිබෙන බවත්, එය විනාශ වී ගියහොත්, අනාගත දරු පරපුරට  පෙළපොතින් පමණක් දැක ගැනීමට සිදුවන බවත් ඔවුන්ගේ අදහසයි.

අදාළ බලධාරීන්ගෙන් ගම්වාසීන් ඉල්ලා සිටිනුයේ මෙම ස්ථානය කඩිනමින් දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *