ග්‍රාම නිලධාරී වසම් දාහක් අංග සම්පූර්ණ සංවර්ධනයට  රජයෙන් සැලසුම්

සමන් පෙරේරා  

ප්‍රායෝගික හා තිරසර පදනමක් සහිතව දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 1000 ක්  අංග සම්පූර්ණ සංවර්ධනයකට රැගෙනයාම අරමුණ කර වත්මන් රජයේ මගින් 2025 – 2029 ග්‍රාම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ග්‍රාමීය සංවර්ධනය සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.ඒ සඳහා එම අමාත්‍යංශය යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයක්ද පිහිටුවීමට පියවර ගෙන ඇත.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතරින් ප්‍රායෝගික සහභාගීත්ව ග්‍රාමීය පිවිසුම් පළමු වැඩසටහන පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන් පැවැත්වීය. දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරි වසම් 694 ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම මෙමගින්  අපේක්ෂා කෙරේ.

නිවැරදි දත්ත ඔස්සේ  ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම සිදු කරයි. ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ප්‍රශස්තම විද්‍යාත්මක  ක්‍රමවේදයක් වන “සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය ( PRA – Participatory  Rural Approach) භාවිතයට ගැනීම මෙහි පළමු පියවර යටතේ සිදු කෙරේ.

මෙම ක්‍රමවේදය ඔස්සේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සංවර්ධන සැලසුම් සකස් කිරිම සඳහා වන ආකෘතින් ඉහත අමාත්‍යංශය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මේ වන විට යොමුකර තිබේ. අදාල ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරිමෙන් පසුව ඒ ඒ  වසම් වල සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරයි.

වඩාත් යහපත් ජිවන තත්ත්වයක් ඇතිකිරීම සදහා ග්‍රාමීය පවුල්වල ආදායම් තත්වය ඉහළ නැන්වීම, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ඉහළ නැන්වීම, සමාජ ගැටළු අවම කිරීම , යටිතල පහසුකම් සදහා ප්‍රවේශ වැඩිදියුණු කිරිම , තිරසර සංවර්ධනය උදෙසා පරිසර සංරක්ෂණය වැඩිදියුණු කිරිම ආදී අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා ක්‍රියා කිරිම මෙම වැඩසටහන හරහා සිදුවීමට නියමිතයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ මගපෙන්වීම හා දිස්ත්‍රික්  ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතාගේ මැදිහත්විම යටතේ මෙම වැඩසටහන අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කීරික්කුලම ගම්මානයේ දී  පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තිරසාර ග්‍රාම සංවර්ධනයක් ළඟා කරගැනීම සදහා අවශ්‍ය ස්ථාවර පියවරක් වශයෙන් හදුනාගත හැකි රජයේ මෙම සංකල්පය මුදුන් පැමිණවිමට නම් ප්‍රායෝගික අන්දමින් , විද්‍යානුකූල ක්‍රමවේදයන් හරහා කාර්යයන් ආරම්භ කළ යුතු බැවින් කීරික්කුලම ග්‍රාමය තෝරාගෙන පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩසටහනක් ලෙස මෙම සහභාගීත්ව ග්‍රාමීය පිවිසුම් වැඩසටහන සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන්නට හැකි වූ බව  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය.

ඒ අනුව ප්‍රවේශයන් 54 ක් ඔස්සේ එම ප්‍රදේශයේ සිදුකරන වගාවන් , සමාජ පසුබිම , ආදායම් වියදම් තත්ත්ව , සේවා නියුක්තිය , අස්වැසුම ඇතුලු රජයේ ප්‍රතිලාභ ලබන්නන්, විශේෂ අවධානයක් යොමුකළ යුතු පවුල් , පොදු හා යටිතල පහසුකම් වල තත්ත්වය , අධ්‍යාපනය ,සෞඛ්‍ය , ප්‍රජා සංවිධාන ව්‍යූහය , කාලගුණික තත්ත්වයන් ආදී සියලු අංශයන් පිළිබඳව අධ්‍යයනය කර තිබේ. 

ග්‍රාමයේ ප්‍රජාව මේ සදහා සෘජුවම සම්බන්ධ වන නිසා සාර්ථක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පහසුවෙන් කළ හැකි වේ. 

මෙම වැඩසටහනින් පසුව පුහුණුව ලැබූ නිලධාරින් විසින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ එවන් සහභාගීත්ව ග්‍රාමීය ප්‍රවේශ වැඩසටහන් 34 ක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

ඉන් අනතුරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 694 තුළම මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඉදිරි මාස කිහිපය තුල දී ග්‍රාම සංවර්ධන සැලැසුම් 694ක් සකස් කිරිම සිදුවන අතර සංවර්ධන වැඩ එම  සැලසුම් වලට අනුව ආරම්භ කෙරේ.

2025 වර්ෂය අවසාන වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක තුල එක් කොට්ඨාසයකින් වසම් තුනක් වන පරිදි  ග්‍රාමීය සංවර්ධනයන් සිදුකිරිමට නියමිතය. ඒ අනුව වසම් 66 ක සංවර්ධන කටයුතු නුදුරේ දීම ආරම්භ කිරිමට නියමිතයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *