වැලිගම තරංග ගුණරත්න
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කොට ඇති අතර එහිදි එම මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් තුන් කෝටි විසිඅට ලක්ෂ හතලිස් දහසක්(32840000) මුදල් හා රත්තරන් වළලු, කරාබු , මාල ඇතුළු ග්‍රෑම් 150 ක් පමණ වන රත්තරන් ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම වැටලීම (17 ) දින අලුයම 3;00 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කඳවුරේ පොලිස් පරීක්ෂක පි.ඒ.එන් ඩි ආරියරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.
දෙවුන්දර හුම්මාන මාර්ගයේදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් නතර කිරීමට රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අණකොට තිබේ.එම අණ නොතකා
අධික වේගයෙන් ගමන් කිරීමට උත්සාහ ගත් මෝටර් රථය පසුපස ගොස් ලුහුබැඳ ගොස් පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. එය පරික්ෂා කිරීමේදී මුදල් හා රන් භාණ්ඩ සමග පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද සිටිනා බවත් ඔහු කාර් රථයේ රියදුරු ලෙස සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටි.
මෙම පොලිස් නිලධාරියාගේ මහ ගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමඟ සාදයක් පවත්වා ඇති බවත් එම සාදය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටි බවත් එම නිලධාරියා පැවසීය. මෙම මුදල් පොලිස් නිලධාරියාගේ විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුනු මුදල් බවද ඔහු පවසයි. පොලිස් නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම් වලදී සිදු කරන ප්‍රකාශ වල පරස්පරතා පවතිනා බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු කියා සිටිති.
මෙම කාර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කොට ඇති බවත් ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවත් මුලික පරික්ෂණ වලින් අනාවරණය වු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටී.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස් වල පසුවන දෙවුන්දර, මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මාතර ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

