සමන් පෙරේරා

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලාංකීය සංස්කෘතියේ තවත් පැතිකඩක් කියාපාන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යකි. එහි සුවිශේෂත්වය වන්නේ වෙනත් රටවල නොමැති ලාංකිකයන්ට පමණක් අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර විධි සම්ප්‍රදායන් තවමත් නොනැසි පැවතීමයි. ලිප ගිණි මෙලවීම, ආහාර අනුභව, ගණුදෙණු කිරීම ,වැඩ ඇල්ලීම යනාදි වශයෙන් වූ චාරිත්‍ර සමුදායක් අලුත් අවුරුදු දින එකම නැකතකින් මුළු මහත් රටක් විසින් ඉටු කරනු ලබයි.
මේ චාරිත්‍ර අතරින් ඇති සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ ලිපගිණි මෙලවීමේ චාරිත්‍රයයි. මෙම ලිපගිණි මෙලවීමේ චාරිත්‍රයේ දී නිවසේ මුළුතැන්ගෙයි ඇති ළිප ගොම මැටි ගා හෝ වෙනත් අයුරකින් පිරිසිදු කොට ළිප් බැඳ ගිණි මොළවා කිරි ඉතිරවීමක් හෝ කිරිබතක් පිසගැනීම සිදු කරයි. ඒ සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස අලුත් මැටි මුට්ටියක් භාවිත කිරීම ලාංකීය ජනයාගේ සිරිතකි.
මේ නිසා ම අලුත් අවුරුදු සමයේ දී මැටි වළං තොග මගතොටේ, පොළවල්’හි විශාල වශයෙන් අලෙවියට තබා තිබෙනු දක්නට ලැබේ. මෙම මැටි වළං නිෂ්පාදනය කරන කුඹල්කරුවන් වර්තමානයේ මුහුණ දී ඇති මැටි ආශ්රිත කර්මාන්තයේ ගැටළු පිළිබඳ කරන ලද හෙළිදරව්වකි මේ.
මැටි වළං නිෂ්පාදනය පිළිබද වතගොත සෙවීමේ දී එය ප්රාග් ඓතිහාසික යුගය තෙක් දිවයයි. මැටි වළං නිෂ්පාදනය කර්මාන්තයක් දක්වා වර්ධනය වනුයේ දෙවන පෑතිස් රජ දවස ලංකා දීපයට වැඩමකළ සංඝමිත්තා තෙරණිය හා මෙරටට පැමිණි දහඅට (18) කුලයකට අයත් ශිල්ප ශ්‍රේණි පැමිණීමත් සමඟ ය. එනම් ඒ අතර සිටි මැටි ආශ්රිත නිෂ්පාදනය පිළිබද දැනුමින් සන්නද්ධ වූ ශිල්පීන්ගේ දායකත්වයෙනි.
මෙම මැටි වළං කර්මාන්තය කුඹල් කර්මාන්තය ලෙස හැදින් වූ අතර කුඹල් කර්මාන්තයේ යෙදෙන ශිල්පීන් වාසය කල ගම්මානය “කුම්භකාරග්රාම”ලෙස මූලාශ්‍ර තුල හැදින්වේ. එදා සිට අද දක්වා මෙකී පාරම්පරික කුඹල් කර්මාන්තය සිය ජීවිකාව කරගත් ශිල්පීන් පිරිසක් වර්තමානයේ මුහුණදී ඇති ගැටළු කිහිපයක් පිලිබඳව මේ ලිපියෙන් හෙළිදරව් කෙරේ.
අනුරාධපුර දිස්ත්‍රීක්කයේ තිරප්පනේ ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයට අයත් පණ්ඩිතරඹෑව ගම්මානය මැටි වළං නිෂ්පාදනයට දිවයිනේ ප්‍රසිද්ධියක් උසුලයි.
අතීතයේ මෙම ගම්මානයේ පවුල් 20ක් පමණ සිට ඇති අතර ඔවුන් මෙම කර්මාන්තය ආරම්භකොට ඇත. අද වන විට පවුල් එකසිය අනූ අටක් (198) පමණ මෙම ගම්මානයේ ජීවත් වේ. එයින් පවුල් එකසිය විසිපහක් (125) පමණ තවමත් වළං කර්මාන්තය සිය ප්‍රධාන ආදායම් මාර්ගය කොටගෙන ඇත.
එනමුත් වළං තැනීමට අවශ්‍යය මැටි ලබා ගැනීම දුෂ්කර වීම, මැටි ඇඹරීමට කාර්යක්ෂම වූ යන්ත්‍ර නොමැති වීම, වළං පිලිස්සීමට අවශ්‍ය දර ලබාගැනීමට නීතිමය ගැටළු පැවතීම, නිෂ්පාදන භාණ්ඩ උදෙසා නිසි වෙළඳපොලක් නොවීම යනාදී ප්රමුඛ ගැටළු රැසකට මොවුන් මුහුණපා සිටිති.

අප හා අදහස් දැක්වූ දිල්රුක්ෂිකා ප්‍රියන්ති මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
“අපිට මේ කර්මාන්තය කරගෙන යන්න දැන් හරි අමාරුයි. වළං හදන්න ඕනි මැටි ටික ගන්න විදිහහක් නැහැ. අපි මැටි ගන්නේ අපේ මහ වැවෙන්. වැහි කාලෙට කොහොමත් මැටි ගන්න බැහැ. ඒ නිසා හොඳටම පායන කාලය වෙනකම් ඉන්න ඕනි මැටි ගන්න.මැටි ගන්න තැනට යන්න පොඩි පාරක් හදලා දෙන්න කියලා අපි ගොඩාක් ඉල්ලීම් කලා. ඒත් තාම අපිට ඒ පාර හදලා දුන්නේ නැහැ. අපිට ඒ පාර ට්‍රැක්ටර් එකකට යන්න පුලුවන් විදිහට හදලා දුන්නොත් වැහි කාලෙටත් අපිට ඕනිතරම් මැටි ගන්න පුලුවන්.කොහොම හරි අරන් එන මැටි ටික අඹරගන්න පෝලිමේ ඉන්න ඕනි. ගමට ලොකු මැටිමෝල් දෙකක් විතර තියනවා.ඒත් ඒවගේ පෝලිමේ ඉදලා තමා අඹරගන්න ඕනි. ට්‍රැක්ටර් වල ගිහින් පෝලිමේ ඉදලා මැටි අඹරන එක අපිට ගොඩක් පාඩුයි. අපේ එක ගෙදරකට එක පොඩි මැටිමෝල ගානේ ආධාර ලැබුණා.නමුත් ඒවා ටික දවසකින් කැඩුනා.අපි ඉල්ලන්නේ හොද වර්ගයෙන් ඒ වගේ මැටි මෝල් අපේ ගෙදරකට එක බැගින් දෙන්න කියලයි.”
ජේ.විජේරත්න මහතා මෙසේ කීය.

“අපි කොහොමහරි කරලා හදාගන්න වළං ටික පුච්චගන්න අපිට දර නැහැ. මේ වටේම තියන කැලෑ ටික රක්ෂිත කරලා තියෙන්නේ.රක්ෂිත කැලෑ වලින් අපිට ඕනි දර හොයාගන්න කියලා දැනට අවුරුදු ගානකට කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට බලපත්‍රයක් දුන්නා.ඒත් ඒක තිබුණට වැඩක් නැහැ.අපි දර ගන්න කැලේට ගියාම වනරක්ෂණ නිලධාරීන් අපිව අල්ලලා නඩු දානවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුන්න බලපත්‍රය එයාලා පිලිගන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් ඕන කරන දර ගන්න විදිහක් නෑ.දර ට්‍රැක්ටර් ලෝඩ් එකක් රුපියල් පන්දහසක් (5000) – හයදහසක් (6000) විතර වෙනවා.එහෙම සල්ලි වලට දර ගෙනත් වළං පිච්චුවාට අපිට ඇති ලාභයක් නැහැ. ඒ නිසා අපිට දරටික ගන්න කැලේට යන්න පුලුවන් බලපත්‍රයක් දෙනවනම් ගොඩක් වටිනවා. නිශ්පාදන හරියට විකුණගන්න බෑ. අතරමැදියෝ ඇවිත් ඉල්ලන්නේ තුට්ටු දෙකට. අපිට දැන්වත් සාධාරණ මිලක් දීලා මේ වළං රජය හරහා හරි මිලදී ගන්නවානම් ඒක ගොඩක් වටිනවා.”
මැටි වළං වෙළෙන්දෙකු වන ශාන්ත උදයකුමාර මහතා මෙසේ පැවසීය.
“මම මේවා නුවර,මාතලේ,ගලේවෙල වගේ දුර ප්‍රදේශ වල තමා වෙළදාම් කරන්නේ. මේ වළං වලට ලොකු ඉල්ලුමක් තියනවා.ඒත් ඒ ඉල්ලුමට සරිලන සැපයුමක් නැහැ.මේ ශිල්පීන්ට තියන මේ ගැටළු ටික විසඳලා දුන්නොත් අපිට ලොකු වෙළඳපොලක් නිර්මාණය කරන්න පුලුවන්.”

