තිරප්පනේ සමන් පෙරේරා
තිරප්පනේ ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් දෙමටවැව ග්‍රාම නිලධාරී වසමේ වූ ඉහළ හිඟුරුවැවේ වාන ඉකුත් වැසි සමයේ දී කැඩී ගොස් වැවේ ප්‍රමාණවත් ජලයක් නොරැඳීම හේතුවෙන් ගැටලු රැසකට ලක්ව ඇතැයි ගොවීන් පවසයි.
මහින්ද රාජපක්ෂ පාලන බලය හෙබ වූ රජයේ අනුරාධපුර දිස්ත්‍රික් අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙකු වූ තිරප්පනේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු එවකට රුපියල් ලක්ෂ 14 ක පමණ වියදමකින් මෙම වැවේ අවිධිමත් ලෙස වාන් ඇලක් නිර්මණය කිරීම, වාන කැඩී යාමට හේතු වී ඇතැයි ද ගොවීහූ පවසති.
වැවේ වානට වඩා පහළින් වාන් ඇළ නිර්මාණය කිරීම නිසා වානට යටින් පස ඛාදනය වී වාන කඩාගෙන ගොස් ඇත. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගොවීන් අවස්ථා 3ක දී වැලි කොට්ට ගැසුව ද වැව බේරා ගැනීමට නොහැකි වූ බව ඔවුහු පවසති. මේ නිසා ගොවි පවුල් 60කගේ පමණ කෘෂිකර්මාන්තයට බාධා පැමිණ ඇතැයිද ගොවීහු කියති.
මෙම ඉහළ හිඟුරුවැව සඳහා ඉහළින් වැව් 4ක ජලය ගලා ආවත් වාන කැඩීම නිසා එම ජලය අපතේ යන බවත්, ඉන් ලැබෙන ජලයත් හැකි පමණින් ආරක්ෂා කිරීමට ගොවීන් එකතු වී තාවකාලිකව පස් වැටියක් දමා උත්සාහ කර තිබිණ.
වාන කැඩී ගලා ගිය අධික ජල ධාරවෙන් වාන් ඇලේ ඉවුරු ද මේවනවිට දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇත. මේ නිසා ගොවීන් එගොඩයායේ වගා කෙරෙන කෘෂී අස්වනු රැගෙන ඒමට සිදුව ඇත්තේ විශාල පලු ගසක මුලක් ආධාරයෙන් වීම ගොවීන්ගේ ජීවිත අනතුරේ දැමීමකි.
මේ නිසා මෙම වැවේ කැඩීගිය වාන යළි සකස් කර දෙන ලෙසත්, වාන් ඇලෙන් එගොඩවීමට පාලමක් සාදාදීමට කටයුතු කරන ලෙසත් ගොවීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



