සෙව්වන්දි සොයා ගිය පොලිසියට මත්ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්…සමග  මේජර්වරයෙකු කොටුවේ

තිරප්පනේ සමන් පෙරේරා  

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනය සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට සමානකම් ඇති කාන්තාවක් අනුරධපුර නගරයේ හෝටලයක් වෙත පැමිණ ඇතැයි යන ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද පරික්ෂාවක දී මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකා යුධහමුදා මේජර්වරයෙකු කාන්තාවක් සමඟ නවාතැන් ගෙන සිටිය දී අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉෂාරා සෙව්වන්දිගේ හැඩහුරුකම්වලට සමාන වුවත් එම කාන්තාව ඇය නොවන බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත. කෙසේ වෙතත් මෙම සැකකාර යුවළ පිළිබඳ අනුරධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කළ පරීක්ෂාවේ දී හෝටලයේ නවාතැන් ගෙන සිටි මොවුන් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍ර‍ව්‍ය මිලිග්‍රෑම් 360ක්, අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 14ක්, ගංජා ග්‍රෑම් 25ක් ජංගම දුරකථන 10ක් හා සිම්පත් තොගයක්, යුධ හමුදා නිල ඇදුම් තොගයක්, රන් ආභරණ හා අති නවීන කාර් රථ 02ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමඟ සිටි මෙම කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ යැයි සැක කෙරෙන අතර මෙම සැකකාර යුවළ අනුරධපුරයේ ම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. සැකකරු ශ්‍රි ලංකා යුධ හමුදා දෙවන ගැමුණු හේවා බලඇණියේ මේජර් වරයකු ලෙස 2013 වර්ෂය දක්වා අනුරාධපුර 212 බලසේනා මූලස්ථානයේ සේවය කර ඇති අතර එසේ සේවය කරමින් සිටිය දි ගංජා ප්‍ර‍වාහනය කිරීමේ වරදට අත්අඩංගුවට ගැනීමෙන් පසු  ඔහුගේ සේවය අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකරිය ඊයේ (01) දින අනුරාධපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග ලබා ගෙන තවදුරටත් විමර්ශන සිදු කිරිමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *