නියෝජ්‍ය ඇමති තදින් සිටී
මොහොමඩ් ආසික්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවලට රියදුරු සහ කොන්දොස්තරවරුන් ලෙස සේවයට බැඳී වෙනත් සේවාවන්වල නිරතව සිටින රියදුරු සහ කොන්දොස්තරවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිටම තමන්ට නියමිත රියදුරු සහ කොන්දොස්තර සේවයේ නිරත විය යුතු බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ලංගමය සඳහා රියදුරන් ලෙස සේවයට එක්ව වෙනත් රාජකාරිවල නිරතව සිටින 333 ක පමණ පිරිසක් හඳුනා ගෙන ඇති බවත් වාහාම ක්‍රියාත්මක වන පරිදි අද සිටම ඔවුන් රියදුරු සේවයේ රාජකාරියට යොමු කරන බවත් කීය. දීර්ග කාලයක් වෙනත් සේවාවන්වල නිරතව සිටි නිසා ඔවුන්ව මණ්ඩලයට අයත් වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර සහතිකයක් ලබා ගැනීමෙන් පසුව දින තුනක පුහුණුවකින් ලබා දී රියදුරු සේවයේ යොදවන බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. ඒ වගේම කොන්දොස්තරවරුන් ලෙස සේවයට බැඳී වෙනත් සේවාවන්වල යෙදී සිටින 1700 ක පමණ පිරිසක් හදුනා ගෙන ඇති බවත් ඔවුන්ගෙන් අවසන් වසර පහ තුල එලෙස වෙනත් සේවාවන්වල නිරතව සිටින පිරිස් වහාම අද සිටම කොන්දොස්තර රාජකාරියේ යෙදිය යුතු බවත් කීය.
කොන්දොස්තර සහ රියදුරු ලෙස සේවට බැඳී සිටින පිරිස් වෙනත් රාජකාරිවල නිරත වීම නිසා ග්‍රාමිය මාර්ගවල බස් ධාවනය නැවතී ගොස් ඇති බවත් ඒ සඳහා මෙමගින් පිළියමක් ලැබෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී තව දුරටත් කීය.

2025 03 27 ආසික්
ඡායාරූපය නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්