වැලිගම තරංග ගුණරත්න
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) දින මෝසමක් මගින් පෙරවරු 8:30 පමණ මාතර අධිකරණයට ඉදිරිපත් විය.
පස්වරු 12 30 පමණ නඩුව කැඳවිණි. දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා සහ කොළඔ ප්‍රදේශයෙන් පැමිණි නීතීඥ වරුන් 10 දෙනෙක් සහ මාතර අධිකරණයේ නිතිඥයින් දෙදෙනෙක් පෙනී සිටියහ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පිරිස් මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
එහිදී ඔවුන් පවසා සිටියේ ප්‍රභූ ආරක්ෂාව යටතේ සිටි පුද්ගලයෙකු ලෙස දින ගණනාවක් කිසිම ආරක්ෂාවක් නොමැතිව සැගවී සිටි බවත් චූදිතයාට සැඟවී සිටීමට සහයෝගය ලබාදුන් අයත් අත්අඩංගුවට ගතයුතු බවත් ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
තවද තෙන්නකෝන් මහතා නමින් නිවාස ගණනාවක් තිබුණත් ඒවායේ හිමිකාරත්වය පිළිබඳව කිසිවකු නොදන්නා බවත්, මොහුගේ නම ඡන්ද නාමලේඛනය පවා නොමැති බවත් ඔවුහු සඳහන් කළහ. චූදිතයාට ඇප ලබා දීමටද ඔවුහු විරෝධතාවය පළ කළහ.
තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සඳහන් කළේ තම සේවාදායකයා පොලිස්පති ලෙස යුක්තිය මෙහෙයුම, ඇතුළු වැටලීම් රාශියක් ඉටුකළ පුද්ගලයෙකු බවය. එබැවින් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනාරක්ෂිත බවත්, එබැවින් අධිකරණයේ ඕනෑම තීරණයකට යටත්ව ඇප ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය
කෙසේ නමුත් දෙපාර්ශවයේ කරුණු මත මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ සැකකරු වෙනුවෙන් විශේෂ ආරක්ෂාව යටතේ හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය. ඒ අනුව හෙට දින නැවත නඩුව කැඳවීමට නියමිතය.
සැකකාර තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු කළේය.
සිද්ධිය දැක බලා ගැනීමට නීතිඥවරු විශාල පිරිසක් මෙන්ම සිද්ධිය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ .



