“බළධාරීන් ඇස් පියා සිටියදී ලයිලා සුරුක්කු මුවාවෙන් හැඹිලි දැල්  වයඹ මුහුදු තිරය වනසයි,,

 

                පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

වයඹ මුහුදු තිරය සුවිශේෂී මුහුදු කලාපයකි. මෙම මුහුදු කලාපය  ජෛව විවිධත්ව සුන්දරත්වය මනා ලෙස පිළිඹුවන අපුර්වතම නිර්මාණයක් ද වෙයි.නමුත් මෙවන් සුන්දර පරිසර පද්ධතියකින් හෙබි මෙම කලාපයේ සිදුවන නීති විරෝධී මසුන් මැරීමේ පන්න ක්‍රම හේතුවෙන් දශක හතරකට ආසන්න කාලයක සිට මෙම කලාපයට බලපා ඇත්තේ එම පද්ධතියට දරා ගත නොහැකි දරුණු විනාශයක් බව පරිසරවේදීහු පවසති.

වයඹ මුහුදු කලාපය කොච්චිකඩේ මුහුදු සිමාවෙන් ආරම්භ වී  මන්නාරම ආසන්නයේ පිහිටි මෝදගම්ආරු විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි  පුක්කුලම ධීවර ගම්මානය ආසන්නය දක්වා විහිදි යයි..

එසේම  මෙම  මුහුදු සිමාව කොරල්පර ඇතුළු විශේෂිත මත්ස්‍ය වර්ග රැසකට හිමිකම් කියයි.මෙය මත්ස්‍ය විශේෂ විදෙස් රටවලට අපනයනය කරමින් ඩොලර් රැගෙන එන කිමිදුම් කරුවන් හා ධීවරයින් විශාල පිරිසක් රැකියාවන් වල නිරත වන කලාපයක් වීම  නිසා රටට ආර්ථීක අතින් සුවිශේෂ දායකත්වයක් දක්වයි.

එවැනි සුවිශේෂ කලාපයක් වන මෙම මුහුදු තිරය  පුත්තලම දිස්ත්‍රික්කයට අයිවාසිකම් පවතින අතර එය හලාවත හා පුත්තලම යන ධීවර දිස්ත්‍රික්ක දෙකකට වෙන් කර සහකාර ධීවර අධ්‍යක්ෂක වරුන් දෙදෙනෙකු යටතට පත් කර ඇත්තේ  ධීවරයින්ට පහසුවක් ලෙස සලකමිනි.

මෙම ධීවර දිස්ත්‍රික්ක දෙක තුළ අශ්ව බල 25 හා 40 යන එන්ජීන් භාවිතා කරනු ලබන බෝට්ටු 5600 ක් හා වල්ලම් හා පාරු 3000 ක් පමණ  ඇති අතර මෙම කලාපයෙන් දියඹට දියත් වන බහුදින යාත්‍රා 600 ක් පමණ ඇති බව ධීවර නිලධාරිහු පවසති.

එසේම මෙම ධීවර දිස්ත්‍රික්ක දෙක තුළ ඍජු හා වක්‍ර රැකියා වල නිරත වන පිරිස 40,000 කට (හතලිස් දහසකට ) ආසන්නය.

මෙම කලාප දෙක තුළ රැකියා වල නිරත වන ධීවරයින් අතරින් පුත්තලම ධීවර අධ්‍යක්ෂ කලාපය තුළ ධීවරයින් දශක කිපයක සිට විවිධාකර ගැටළු රැසකට මුහුණ දී ඇත. 

මින් බරපතල ගැටලු ලෙස සැලකිය හැකි එක් කරුණක් නම් ,ඉන්දියන් ධීවරයින් විසින් බත්තලන්ගුන්ඩුව ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තිරයේ ශ්‍රී ලාංකික ධීවරයින්  බරපතල ලෙස පිඩාවන්ට ලක්කරමින් සිදුකරන නීති විරෝධි මසුන් ඇල්ලීමයි.

මෙම කලාපයේ  රැකියාව කරන ධීවරයින්ට තම මුහුදු සිමාවේ මත්ස්‍ය අස්වැන්න අහිමි කරමින් මෙම ඉන්දීයන් ධීවරයින් ශ්‍රී ලාංකික ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න සුරාකෑම බරපතල ගැටළුවක්ව තිබේ.      

ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් මෙම ඉන්දීයන් ධීවරයින් අත් අඩංගුවට ගැනිම නිරන්තරයෙන් සිදුවේ.

නමුත් මෙලෙස ඉන්දියන් ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු පතුල වනසා දමද්දී, ශ්‍රී ලාංකිකයින්ද තම මුහුදු පතුල වනසා දමමින් ඇත්තේ මේ වන විට  සුළු පන්න ධීවරයින්  ලෙස හඳුන්වන   ලයිලා හා සුරුක්කු ඇතුළු දැල් ආම්පන්න  යොදා ගනිමිනි.

මුහුද වනසමින් පැවති මෙම ලයිලා හා සුරුක්කු  පන්න ක්‍රමය මුලින්ම ත්‍රිකුණාමලය මුහුදේ ක්‍රියාත්මක වි තිබුණි. පසුව 1980 දශකය ආරම්භයේ කල්පිටියට පැමිණ ඇත්තේ ධීවර කර්මාන්තයේ නිරතව සිටි මුස්ලිම් ව්‍යාපාරීකයින් කිප දෙනෙකුගේ මැදිහත් විමෙන් බව පැරණී ධීවරයෝ පවසති .

කල්පිටියට මුලින් ලයිලා පන්න ක්‍රමය පැමිණ ඇති අතර සුරුක්කු පන්න ක්‍රමය කන්දකුලිය කුඩාව ප්‍රදේශයට බලහත්කාරයෙන් පැමිණ ඇත්තේ සුළු පන්න ධීවරයින්ගේ දැඩි විරෝධය හමුවේය.

ලයිලා පන්න ක්‍රමය සඳහා සුළු පන්න ධීවරයින්  දැඩි විරෝධය මතු කරන්නට විය.

ඒ ලයිලා පන්න ක්‍රමය හේතුවෙන් සුළු පන්න ධීවරයින්ට හිමිව තිබු මත්ස්‍ය සම්පත සුරා ගැනිමට දැඩි විරෝධය මතු කරමිනි.

එලෙස සුළු පන්න ධීවරයින් තම විරෝධය මතු කරමින් මෙම පන්න ක්‍රමය තහනම් කරන ලෙසට කළ ඉල්ලීමට අවසානයේ ප්‍රතිචාරය හිමි වුයේ පුදුම දනවන කටයුත්තකිනි.

ඒ සුළු පන්න ධීවරයින් ලයිලා සුරුක්කු ලෙස හැදින්වු නීති විරෝධී පන්න ක්‍රමයට එවකට ධීවර ඇමතිවරයා, ධිවර අමාත්‍යංශ ලේකම්වරුන් හා සෙසු නිළධාරීන්  එක්වි එය අලුත්ම නමක් දමා හැඹිලි දැල නමින් නම් කර  ඒ සදහා නිත්‍යානුකුල බලපත්‍රයක් 1986 වසරේදී ලබා දීමය.

මේ සදහා ද සුළු පන්න ධීවරයින් තම විරෝධය මතු කළද එයටද හඬක් නොවිම මත සුළු පන්න ධීවරයින් වෙනුවෙන් පිහිටට කිසිවකු නොමැති පසුබිමක් උදාවිය.

නමුත් ලයිලා හා සුරුක්කු නමින් වු දැල් පන්නය වෙනුවට  හැඹිලි දැල් ලෙස බලපත්‍ර ලබා දිම පිළිබඳව  එම බලපත්‍රය ලබා දීමට මැදිහත් වු එවක දේශපාලන අධිකාරීය හා ධීවර අමාත්‍යංශ නිළධාරීන් සුළු පන්න ධීවරයින්ගේ සිත් සනසා තිබුණේ  දැඩි කොන්දේසි ලබා දෙමින් මේ සඳහා බලපත්‍ර ලබාගත දෙන බව පවසමිනි.

එහිදි සුළු පන්න ධීවරයින් සම්පුර්ණයෙන් නොමග යවා  හැඹිලි දැල් සදහා  බලපත්‍රය ලබා දී ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ නියමයන් හා විධි විධාන, එම පනතේ පනවා ඇති බලපවත්නා නියෝග යටතේ මෙම බලපත්‍රයේ කොන්දේසි අනුව මෙහෙයුම් වල යෙදිමට අවසර ලබා දී ඇත.

ඒ අනුව  පනවා ඇති කොන්දේසි නම්,

ඇස් ප්‍රමාණය (දැලක)  – අගල් 2   1/2,

දැලක උස – මිටර්  25 ක්

දැලක දිග – මිටර් 225 ක්

මෙහෙයුම් සිදුකල යුතු දුර- ගොඩබිමේ සිට සැතපුම්  10 ඔබ්බෙන් වු මුහුදු තිරය.

මසුන් ඇල්ලීම සිදුකළ යුතු කාල පරිච්ජේදය -උදෑසන 6 සිට සවස 6 දක්වා…ආදිය වේ.

බලපත්‍ර යටතේ ඇල්ලීය හැකි මසුන් වර්ග   ලෙස මුරල්ලා,හබරලා,අලගුඩුවා, කිලෝ තුනට වැඩි කෙලවල්ලන්,හා ඊට සමාන සත්ස්‍යයන්නම් කර ඇත.

හැඹිලි දැල් සදහා ආලෝකය භාවිතා නොකොට දිවා කාලයේ පමණක් ඇල්ලීම කළයුතුය .

මෙහෙයුම් සදහා ඩයිනමයිට් හෝ වෙනත් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් භාවිතා කිරීම තහනම් කර ඇත.

ශ්‍රී ලංකා මුහුදු තිරයේ හැඹිලි දැල් කිමිදුම් උපකරණ කිසිවක් භාවිතා කිරීම ද තහනම් කර ඇත.

හැඹිලි දැල්  බලපත්‍ර නිකුත් කරනු ලබනුයේ එක් යාත්‍රාවක් සඳහා පමණකි.

මෙම  හැඹිලි දැල් භාවිතා කරන කිසි විටෙකත් ගල්පර ආශ්‍රිත මුහුදු පතුල ආශ්‍රීත ගැවසෙන මසුන් හෝ කාලීනව ජල ස්ථරය මතුපිටට පැමිණෙන එවැනි මසුන් ඇල්ලීම තහනම් වෙති.

ධීවර පනත යටතේ තහනම් කරන ලද මත්ස්‍ය විශේෂයක් වන මුහුදු ක්ෂීරපායින් වන කැස්බෑවන් ,කස මෝරා, විශේෂ කස මෝරා,පොල් කොළ මෝරා,මිණිමුතු මෝරා,වැනි මත්ස්‍ය විශේෂයන් සිටින මාළු රෑන් හැඹිලි දැල් මගින් වට කිරීම තහනම් කර ඇත.

ඉහත නීති උල්ලංඝණය කරන පිරිසට දැඩි දඬුවම් පනවන බවද අදාල බලපත්‍රය මගින් තහවුරු කර ඇත.

නමුත් පුදුමය  සහගත ලෙස මෙම සියලුම කොන්දේසි රිසි සේ උල්ලංඝණය කරමින් මෙම පන්න ක්‍රමය ක්‍රියාත්මක කළද ඒ සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ ධීවර දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රකිමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව සුළු පන්න ධීවරයෝ පවසති.

සුළු පන්න ධීවරයින් ලයිලා ලෙස හදුන්වන මෙම හැඹිලි දැල් පන්නයට ලබා දී ඇති බලපත්‍ර අනුව එක් යාත්‍රාවක් පමණක් යොදා ගත යුතුව ඇති බව සදහන් කළද මුහුදට ගොස් පරික්ෂා කිරීමේදි යාත්‍රා 10 ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් කිමිදුම්කරුවන් යොදා දැවැන්ත දැල් පන්නයක් මුහුදට දමා එයට මසුන් කොටු කර ගැනිමට විවිධ උපක්‍රම යොදා ගැනිමට කටයුතු යොදන ආකාරය දැකිය හැක.

ඇතැම් විටක මෙලෙස හැඹිලි දැල් සඳහා මසුන් කොටු කර ගැනිමට ඩයිනමයිට් පුපුරවා හැරීමද සිදුවෙන බව නොරහසකි.මෙවැනි විනාශයක් සිදුවන තුරු එය කිසිදු ලෙසකින් සිදු නොවු ලෙස අදාල කලාප වල නාවික හමුදා නිළධාරීන් මුනිවත රැකිමද බරපතලම ප්‍රශ්නයකට තුඩු දී ඇත්තේ ඒ සදහා වන නීතියට කුමක් වි දැයි සුළු පන්න ධීවරයා ප්‍රශ්න කරන පසුබිමකය.

මෙම ලයිලා හා සුරුක්කු දැල් සම්බන්ධව දශක කිපයක් පුරා දැඩි විරෝධයක් මතු කළ ,මේ සම්බන්ධව සටන් වැද මේ වන විට තම ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමන නමින් පෙනි සිටිමට අකමැති ධීවරයින් වෙනුවෙන් පෙනි සිටි ධීවරයකු හා ධීවර ක්‍රියාකාරියකු මෙලෙස තම අත්දැකිම් එක්කළහ.

“මම මේ වෙනුවෙන් සටන් කළේ සුළු පන්න ධීවරයකු වු මා ඇතුළු ධීවර  ප්‍රජාව වෙනුවෙන්.ඒ කාලයේ හිටපු ධීවර ඇමතිවරයකු වු මිය ගිය මිල්රෝයි ප්‍රනාන්දු හා වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමතිවරයකු වු අනතුරකින් මරණයට පත්වු සනත් නිශාන්ත පෙරේරා යන දේශපාලඥයින් අපිව කඩේ යැව්වේ පුදුම විදිහට.

අපි දැඩි විරෝධය මතු කළේ ලයිලා හා සුරුක්කු වෙනුවෙන්. හැබැයි ඒ වන විටත්  ලයිලා හා සුරුක්කු වලින් යැපුන දේශපාලඥයින් හා ධීවර අමාත්‍යාංශයෙ නිළධාරීන් උපක්‍රමශීලි ලෙස හැඹිලි දැල් ලෙස නම් කරමින් නව පන්න ක්‍රමයකට බලපත්‍රයක් ලබා දීමට තරම් ලැජ්ජා සහගත හිරිකිත වැඩ කළේ.

අන්තිමට අපි ලයිලා සුරුක්කු වෙනුවෙන් හඩ නගද්දි බළධාරීන් හා දේශපාලඥයින් අපි ඉදිරිපිට පොලිසියට කතා කරළ අල්ලන්න කියලා නියෝග දිලා එයාලා අලුත් නමකින් නම් කර බලපත්‍ර දුන්න. හැඹිලි දැල් හිමිකරුවන්ට  ‘උඹලා කරගෙන යමල්ලා උන්ට පිස්සු’… කියපු එක අපි දන්නවා.

හැබැයි ලයිලා කිවුවත් හැඹිලි කිව්වත් දෙකම එකයි.“නම් වෙනස් කරළ මේ විනාශ කරන්නේ අපේ මුහුද,, ඒක බරපතල කරුණක්.

ඒ විතරක් නොවෙයි මේ හැඹිලි දැල වට කරද්දි බැරි වෙලාවත් ඩොල්ෆින් රෑනක් කොටු උනොත් යවා ගන්න බැරි නම් කිමිදුම් කරුවන් දාලා ඒ මත්සයින්ගේ උදරය පලා දමන්නේ පුදුම තිරිසන් විදිහට. ඒ විදිහට උදරය පලා දමපුහාම මැරුණ  ඩොල්ෆින් මත්සයින් උඩ එන්නේ නැහැ එක පුදුම විනාශයක්.

ඒ මදිවට සුළු පන්න ධීවර යාත්‍රා 50 කට තියෙන මසුන් මේ හැඹිලි එක දැලකට අරන් ගොඩ යනවා.එතකොට සුළු පන්න ධිවරයා අන්ත අසරණයි.මේ කරුණු බරපතල ඇත්ත කථා.

මේ සියල්ලටම නාවික හමුදාවයි ධීවර අමාත්‍යංශයයි වගකියන්න ඕනා. මොකද ඒ අය හැඹිලි බලපත්‍ර කොන්දේසි සියල්ලම උල්ලංඝණය කරන්නේ මේ පිරිසගේ සහයෝගයෙන්’… යැයි ඔහු පැවසීය.

හැඹිලි දැල් මෙලෙස මුහුද වනසමින් ක්‍රියාත්මක කිරීම පිළිබදව ඒ වෙනුවෙන් සටන් කළ ක්‍රියාකාරියකු වන මේ වන විට ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජීත් ගිහාන් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“මෙය පසුගිය පාලන ක්‍රම මගින් කළ බරපතලම හානියක් ඒ නිසාම සුළු පන්න ධීවරයා හා හැඹිලි පන්න ධීවරයා අතර නිරන්තර ගැටුම් ඇති වුනා.අඩුම තරමින් මේ ගැටළුවට සාධාරණ තීරණයක් හිටපු අයට දෙන්න බැරි වුණා..ඒ නිසාම අද මෙය බරපතල ගැටළුවක් වෙලා .

නමුත් මේ හැඹිලි පන්නය නිසි ලෙස අදාල නීති රාමුව යටතේ කරනවාද නැත්නම් සම්පුර්ණයෙන් මුහුදින් අයින් කරනවාද යන්න අපි තිරණයක්, ගන්න සුදානමින් ඉන්නේ . ‘ ඔහු පැවසීය.

පුත්තලම ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රවංශ මහතා මේ සම්බන්ධව මෙලෙස පැවසීය.

“පුත්තලම ධීවර අධ්‍යක්ෂ කලාපයෙ හැඹිලි දැල් 90 කට  ආසන්න රැකියාව කරන්න බලපත්‍ර දිලා තියෙනවා .නමුත් මේ පන්න ක්‍රම කුමන ලෙසකින් මුහුදෙ ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බලන්නවත් අපිට ධීවර යාත්‍රාවක් නැහැ.ඒ සදහා නාවික හමුදාව තමා අදාල කටයුතු කරන්න උවමනා.යම් ගැටළු තිබේනවා නම් අපි සුදානම් ඒ සදහා මැදිහත් වෙන්න..

කෙසේ හෝ  මේ සඳහා  වහා ක්‍රියාමාර්ග ගතයුතු වන්නේ සුළුපන්න ධීවරයින්ගේ ජීවිත සිය ගණනක් මේ මත රැඳි තිබෙන බැවිනි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *