කිත්සිරි වනසිංහ අනුරාධපුර
අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් ණය දෙන සමිතියේ (EDCS) ඊයේ (08) පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය විශිෂ්ඨ ජයක් අත්පත් කරගෙන තිබේ.
දිවයින පුරා නියෝජිතයින් 384 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයෙන් නියෝජිතයින් 370 දෙනකු ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නාම යෝජනා අතුරෙන් තේරී පත්ව ඇත.
ජාතික ජන බලවේගය කණ්ඩායම ඉදිරිපත් කළ නාම යෝජනා අතුරෙන් එක් කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවත් වෙනත් කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා අතුරෙන් නියෝජිතයන් 13 දෙනකු පමණක් නිලවරණයේ දී තේරී පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අප කළ විමසුමේදී පැවසීය.
නුවර එළිය දිස්ත්‍රික්කයෙන් 09 ,මඩු ප්‍රදේශයෙන් 01 , මඩකලපුව 01 , කල්මුණේ 01 හා දෙහිඅත්තකණ්ඩිය 01 වශයෙන් අනෙක් කණ්ඩායම් සඳහා නියෝජිතයින් පත්ව ඇත. දිවයිනේ සෙසු පළාත්වල බලය අත්පත් කර ගැනීමට ජාතික ජන බලවේගය කණ්ඩායම සමත්ව ඇත.
රට පුරා සාමාජිකයින් ලක්ෂ දෙකකට (200000) වැඩි පිරිසක් අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් ණය දෙන සමිතියේ සාමාජිකත්වය දරන අතර ණය දෙන සමිති අතුරින් දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමිතිය මෙය බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.


