දිනේෂ් රූපසිංහ – කොළඹ
- ගින්නෙන් සිදු වූ පාඩුව බිලියන හයකට අධිකයි
- වාර්ෂිකව රටට ඩොලර් මිලියන 25 – 30 ත් අතර විදේශ විනිමයක් ගෙනාවා
- කර්මාන්ත ශාලාව නිසා වක්‍රව ආදායම් ලැබූ පහළොස් දහසකගේ ආදායම අහිමිව ගිහින්
“ලංකාවට වාර්ෂිකව ඇ.ඩො මිලියන 25-30 ක අතර විදේශ විනිමය ගෙනාව අපේ කර්මාන්තශාලාව ගිනි ගැනීමෙන් වුන පාඩුව රුපියල් බිලියන 6ට අධිකයි. ” යැයි හොරණ ආයෝජන කලාපයේ පසුගිය 13දා ගිනි ගැනීමට ලක්වූ HDDES සමූහ ව්‍යාපාරයේ සභාපති ගිහාන් ද සිල්වා සඳහන් කලේය.
මෙම කර්මාන්ත ශාලාවේ ගිනිගැනීම හේතුවෙන් කර්මාන්ත ශාලාවට සිදු වූ පාඩුව සහ එහි වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා හොරණ එම කර්මාන්ත ශාලාවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
1982 වසරේදී ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු වර්ග සඳහා විවිධ අගයන් එකතු කිරීමකින් පසුව එම නිෂ්පාදනයන් සියයට සියයක්ම විදේශීය රටවල් සඳහා අපනයනය කිරීම සිදුකර ඇත. එමඟින් ගෙවීගිය වසර 42 ක කාලයක් තුල මෙරට ආර්ථිකය සඳහා වාර්ෂිකව ඇ.ඩො මිලියන 25 -30 ත් අතර විදේශීය විනිමය ප්‍රමාණයක දායකත්වයක් ලබා දීමට මෙම කර්මාන්ත ශාලාවට හැකියාවක් ලැබී ඇත.
තවදුරටත් අදහස් දැක්වූ සභාපති ගිහාන් ද සිල්වා මෙසේද පැවසීය
“අපි පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිය පෙබරවාරි දක්වා ගම්මිරිස් මිලදී ගෙන තිබුනා ටොන් 225කට අධික ප්‍රමාණයක්. ඒ සියල්ලම සමඟ කුරුඳු සහ තවත් කූළුබඩු රාශියක් ගින්නෙන් විනාශ වුනා. තවමත් යට තියෙන කූළුබඩු ගිනිගන්නවා , ඒවායේ රස්නය තියෙනවා. අපි නිරන්තරයෙන් ජලය යොදමින් ඒවා සිසිල් කරනවා. මේක කර්මාන්ත ශාලාවට වුන පාඩුවකට වඩා රටට වුන විපතක්. අපේම සේවකයින් 600 කට පමණ රැකියාවේ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. වක්‍ර ආකාරයෙන් මෙමගින් ජීවිතය ගැටගසා ගත් 15000ක පමණ ගොවිමහතුන් ඇතුලු වගාකරුවන් පිරිසක් ඉන්නවා ඔවුන් සියලු දෙනාටම අද කිසිම ආර්ථික ලැබීමක් නෑ. අපේ සේවකයින් සඳහා අපි ඔවුන්ගේ සේවය නොගෙන වැටුප් ගෙවනවා. නමුත් වක්‍රව ජීවත් වෙන පිරිස අද අන්ත අසරණයි.
මේ ව්‍යසනයෙන් පසුව ජනාධිපතිවරයාත් සෘජුව සොයා බැලීමක් සිදු කළා. එවගේම කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ , කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මෙහි පැමිණ නිරීක්ෂණය කළා.. දැනට දළවශයෙන් ගින්නෙන් සිදුවූ පාඩුව ඇස්තමේන්තු කරලා තියෙනවා රුපියල් බිලියන 6ක් බවට. මේ ගිනිගත් කර්මාන්ත ශාලා දෙකේම තියෙන යන්ත්‍රසූත්‍ර කිසිම දෙයක් නැවත භාවිතා කරන්න බෑ. නැවත මෙය බලගන්වන්න අඩුම මාස අටක්වත් යනවා. එනිසා ලෝකයේ මේ නිෂ්පාදනය භාවිතා කරන සියලුම රටවල පාරිභෝගිකයන්ට මෙය විශාල පහරක්. ඊළඟ වසරේ ගම්මිරිස් අස්වැන්න ලැබෙන තුරු ඒ අතර කාලයේ කිසිම දෙයක් කරන්න අපිට හැකියාවක් නෑ. අපේ නිෂ්පාදන ලෝකයේ විවිධ නිෂ්පාදනයන් සඳහා යොදාගත්තා. ඒ නිසා අපි අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයක් පවා මෙහි ස්ථාපිත කරල තිබුණා. ඒ සියල්ල සිදු කරලා තිබුණේ ජාත්‍යන්තර ගුණාත්මක භාවය ලබාදීමේ අරමුණින්.
වසර හතළිස් දෙකක පමණ කාලයක් විවිධ රජයන් වෙනුවෙන් , ලංකාව වෙනුවෙන් ගෙනා විදේශ විනිමය වැනි කරුණුවත් සලකලා රජයෙන් සහ අපි ගනුදෙනු කරන බැංකු විසිනුත් අපිට යම් සහනයක් ඉක්මනින් ලබා දෙයි කියන බලාපොරොත්තූවේ අපි ඉන්නේ. අපිට මේ යන්ත්‍ර සූත්‍ර ටික හෝ මිලදී ගැනීමට රජයෙන් වසරකවත් සහනකාලයක් සමඟ රුපියල් බිලියන 2.5ක් හෝ ලබාදෙන්න කියලා අපි මේ මොහොතේදී ඉල්ලා සිටිනවා. “



