අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ගොඩකවෙල, ඕපනායක, බළන්ගොඩ සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 72ක හෙක්ටයාර් 37250ක බිම් ප්‍රදේශයක් මහවැලි සංවර්ධන අධිකාරිය යටතට පත්කිරීමට පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මුලු ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය 574න් අඩකට ආසන්න ප්‍රමාණයක් වු ග්‍රාම නිලධාරී වසම් 229ක් මහවැලි සංවර්ධන අධිකාරිය සතු වෙයි. මෙම අත්පත් කරගැනීමට පෙර මහවැලි අධිකාරිය සතුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් අයත්ව තිබුණේ ග්‍රාම නිලධාරී වසම් 157ක් පමණි.
උඩවලව ජලාශය ඉදිකිරිම ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය (ගනිසම) විසින් සිදුකරනු ලැබීය. උඩවලව ජලාශයෙන් පහළ හෙවත් ජලාශයේ ජලයෙන් පෝෂණය වන බිම් ප්‍රදේශය මුලින් ගනිසමට අයත්විය. ගනිසම ඈවර කිරීමෙන් පසු එම ප්‍රදේශ මහවැලි සංවර්ධන අධිකාරියේ වලව විශ්ෂ බල ප්‍රදේශයට අයත්විය. නේවාසික ව්‍යාපාර කළමනාකරුවෙකුගේ නායකත්වය යටතේ ඒකක කළමනාකරුවන් විසින් වලව විශේෂ බල ප්‍රදේශයේ ඉඩම් පරිහරණය කිරීම, භෞතික සම්පත් සංවර්ධනය, ඇතුලු සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
වාරිමාර්ග අමාත්‍යාංශය විසින් LUP/SYS-WALAWA/01VOL-VI-2021 හි 2024-05-17 දිනයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිකුත් කරන ලද ලිපියකින් දන්වා ඇත්තේ වැලිගෙපොල, ගොඩකවෙල, ඕපනායක, බළන්ගොඩ සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාම සේවා වසම් 72ක් හෙක්ටයාර් 37250ක භූමි භාගයක් මහවැලි සංවර්ධන අධිකාරියේ බලතල ප්‍රකාරව ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ සදහා ආයතන නිලධාරීන් දැනුවත් කිරීම කර ඉදිරි කටයුතු සඳහා සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා ඇත.
මේ වනවිටත් උඩවලව ජලාශයේ ජලය බෙදාහැරීම් පදනම් කරගෙන ජලාශය මගින් පෝෂණය වන හා ජලධාරා ප්‍රදේශය ඇතුළත්ව ග්‍රාම නිලධාරී වසම් 157ක භූමි ප්‍රදේශයක පාලනය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් කරනු ලබයි.
1979 අංක 23දින ශ්‍රීලංකා මහවැලි අධිකාරී පනතේ 3(1) වගන්තිය යටතේ 1981 අප්‍රේල් 16 දිනැති අංක 137 දරණ ගැසට් නිවේදනය වලව මහවැලි විශේෂ බලප්‍රදේශය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව යෝජිත හෙක්ටයර් 37,250 ක බිම් ප්‍රමාණය ද වලව මහවැලි විශේෂ බලප්‍රදේශයට අයත් වෙයි.
එම ප්‍රදේශවල ඉඩම් පරිපාලන කටයුතු හැර ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීම, පරිසර කළමනාකරණය සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ බලතල ප්‍රකාරව ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට එවා ඇති ලිපියේ සඳහන් වන බව 2025-01-05 වන දින ලබාගත් 2024-07-31 දිනැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වාර්තා සටහන්වල දැක්වේ.
ඒ අනුව රක්වාන සහ ගොඩකවෙල උප නගර දෙක ඇතුලුව ගොඩකවෙල ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයෙන් ග්‍රාමසේවා වසම් 37ක්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වැලිගෙපල උපනගරය ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් 30ක්, බළන්ගොඩ සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙන් ග්‍රාම නිලධාරී වසම් දෙක බැගින් 04ක් හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එක් ග්‍රාම නිලධාරී වසමක් ලෙස වසම් 72ක් අලුතින් මහවැලි අධිකාරියට රත්නපුර දිස්ත්‍රික්කයෙන් එකතු වෙයි.

