හෝර්ටන් තැන්නේ ආක්‍රමණශීලී ශාක විශේෂ හතලිහක්-ඉවත් කරන්න එන්න.

හේවාහැට-චම්පික දසනායක 

ශ්‍රී ලංකාව තුල පිහිටි අතිශය සංවේදී පාරිසරික පද්ධතියක් වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආවේනික ශාක හා සත්ව විශේෂ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලී ශාක වර්ග හතලිහක් පමණ හඳුනාගෙන ඇති බව එම වනෝද්‍යානයේ පාලක සිසිර කුමාර රත්නායක මහතා පසුගිය 27දින පැවසීය 

රත්නායක මහතා මෙම හෙලිදරව් කිරීම සිදුකරන ලද්දේ එම වනෝද්‍යානය තුළ සීග්‍රයෙන් පැතිර යන යුලෙක්ස් (ULEX) නැමති ආක්‍රමණශීලී ශාකය ගලවා ඉවත් කිරීම සඳහා එම වනෝද්‍යානයේ පැවති ශ්‍රමදාන වැඩසටහනට එක්වූ ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය හා ඊට අනුබද්ධ දුම්බර සේනා සමූහයේ පරිසර ක්‍රියාධරයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය

මුහුදු මට්ටමේ සිට මීටර්  2100 ක පමණ උසකින් පිහිටා ඇති හෙක්ටයාර  3169 ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පැතිර ඇති මේ වනවිට හඳුනාගෙන ඇති ආක්‍රමණශීලී  ශාක හා පැලෑටි විශේෂ හතලිහ (40) අතරින් යුලෙක්ස් හෙවත්  ULEX EUROPAEUS නැමති විද්‍යාත්මක නමින් හඳුන්වන කටු සහිත ශාක විශේෂය වර්ග මීටර් 50,000 පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති බව හා එම ව්‍යාප්තිය හේතුවෙන් වනෝද්‍යානයේ ස්භාවික තෘණ භූමිය විනාශ වෙමින් උද්‍යානය තුල ඇති ආවේනික ශාක හා සත්ව විශේෂ වල පැවැත්මට සෘජු කර්ජනයක් ඇතිව තිබෙන  බව මෙහිදී හෙලිදරව් කෙරිණ.

බටහිර යුරෝපය නිජබිම කරගත් යුලෙක්ස් ශාකය අඩි හතක් අටක් පමණ උසකට වර්ධනය වන අතර  පස තුළ හොඳින් වර්ධනය වන මූල පද්ධතියකින් සමන්විත වීම හා ගසේ කඳ මත හටගන්නා තියුණු කටු හේතුවෙන් ගලවා ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවේ 

ගලවා ඉවත් කරන ලද ශාක හා මුල් කොටස් ගිණි තබා විනාශ කරන නමුත් ගින්නට හා දැඩි ඉඩෝරයට ඔරොත්තු දීමේ ඇති  හැකියාව නිසා වසර ගණනාවක් ගතවූ පසුවත් ඉතිරි වන මුල් හෝ දඬු කැබැල්ලකින් නැවතත් ව්‍යාප්තිය සිදුවන බව උද්‍යාන පාලකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය .

වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින  සීමිත මානව හා භෞතික සම්පත් හේතුවෙන් වනෝද්‍යානයේ පැතිර ඇති මෙම ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම ප්‍රායෝගික ගැටළුවක් වී ඇති නිසා ,පරිසරට ආදරය කරන ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට මෙම ආක්‍රමණශීලී ශාක හා පැලෑටි ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සිදුකරන ලෙසද උද්‍යාන පාලක රත්නායක මහතා මෙහිදී ඉල්ලීමක්ද සිදුකළේය 

පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රජා මූලික ක්‍රියාකාරකම් යන තේමාව යටතේ යුරෝපීය සංගමයේ මූල්‍යාධාර මත වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණය යටතේ,  ශ්‍රී ලංකා හරිත  ව්‍යාපාරයේ (GMSL) සභාපති සුරන්ජන් කොඩිතුවක්කු මහතාගේ  මගපෙන්වීමෙන්, කේ අමල් සංජීව මහතාගේ සම්බන්ධීකරණයෙන්, එම සංවිධානයට  අනුබද්ධ දුම්බර සේනා සමූහයේ පරිසර ක්‍රියාධරයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ,ඇක්ටඩ් (ACTED) හා ලැන්ඩ්සී මෝල්ඩ්ව්ස් (LSM) ආයතන හා සබැඳි ත්‍රිී සීරෝ (3ZH) හවුස් වැඩසටහනේ හවුල්කාරීත්වය යටතේ මෙම ශ්‍රමදානය පසුගිය 28දා දවස පුරාම ක්‍රියාත්මක විය 

ශාක ගලවා ඉවත් කරන ආකාරය
ගලවා ඉවත් කරන ලද යුලෙක්ස් ශාක

Leave a Comment

Your email address will not be published. Required fields are marked *