මොහොමඩ් ආසික්

ලෝ දනන්ගේ නෙත් සිත් පුබුදුවන නෙකවිද වර්ණයන්ගෙන් මෙන්ම සුගන්ධයෙන්ද යුත් පුෂ්පයන් වර්ග සිය ගණනකගේ නිජ භූමිය ලෙස ශ්‍රී ලංකාව හැඳින්වෙයි. එයිනුත් මධ්‍යම පළාත එවන් පුෂ්පයන්ගේ තිඹිරි ගෙයද වෙයි. පේරාදෙණිය උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, හෝටන්තැන්න ස්වභාවික පරිසර පද්ධතිය මෙන්ම , මධ්‍යම පළාත තුල පිහිටි සියලු ස්වභාවික මෙන්ම නිර්මිත උද්‍යානයන්ද නිරන්තරයෙන් මලින් බර ව තිබෙනු දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ පළාත් නවය සඳහා තෝරා ගත් පුෂ්පයන් නවයක් පවතී . ඒවා නම් වයඹ පළාත ඇට්ටේරියා පුෂ්පය, උතුරුමැද පළාත ඇහැල පුෂ්පය, ඌව පළාත ගුරුළුරාජ පුෂ්පය, දකුණු පළාත හීන් බෝවිටියා පුෂ්පය, බස්නාහිර පළාත සුදු නෙළුම් පුෂ්පය, මධ්‍යම පළාත මහරත්මල පුෂ්පය, සබරගමුව පළාත වෙසක් මල පුෂ්පය. නැගෙනහිර පළාත ගොඩමානෙල් පුෂ්පය, උතුරු පළාත විශ්ණුක්‍රාන්තිය, යන පුෂ්පයන්ය .
මෙම විශේෂිත වූ පුෂ්පයන් අතරින් අපි මධ්‍යම පළාතේ පුෂ්පය වන මහරත්මල ගැන විමසා බැලීමට මෙම ලිපිය මගින් උත්සාහ කරන්නෙමු.
නුවරඑළිය සහ බදුල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන නගර දෙකකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයට යාව පිහිටි හෝටන්තැන්න මෙරට අති සංවේදී පරිසර කලාපයකි. මධ්‍යම පළාතට ආවේණික මෙම මහරත්මල මෙම කලාපයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ වැඩි වශයෙන් පිපී තිබෙනු දැකිය හැකිය. හෝර්ටන්තැන්නට ගමන් කරන ප්‍රධාන මාර්ගය වන පට්ටිපොල සිට ගමන් ගනිද්දී කිලෝ මීටර් 15 කට වැඩි ප්‍රමාණයක් ( ලෝකාන්තය දක්වා) පුරා මඟ දෙපස පරිසරයම රත් පැහැ ගන්වමින් මෙම මහරත්මල් පිපී දිළෙනු දැකිය හැකිය.
මහරත්මලෙහි උද්භිද විද්‍යා නාමය වනුයේ Rhododrendran Arbareum Var Zeylanicumයන්නයි. එය Ericaceae නම් කුලයට අයත් වෙයි..
පළාතක් සඳහා පුෂ්පයක් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ පරිසර අමාත්‍යාංශයේ විශේෂිත කමිටුවක් විසිනි. මෙම පුෂ්පයන් තෝරා ගැනීමේදී නිර්ණායකයන් කිහිපයක්ම සලකා බලනු ලබයි. ඒ අතර, එම පුෂ්පය පිපෙන ශාඛයේ ආවේණික බව, වඳවීමේ අවදානමට ලක්ව තිබීමේ තත්වය,පළාත් පරිසර පද්ධතිය තුළ කැපී පෙනෙන ස්වභාවය, අදාළ පුෂ්පයේ බහුවිද භාවිතය, ශාඛය සහ පුෂ්පය බැඳුණු සංස්කෘතික සහ ආගමික වටිනාකම ආදිය එයින් ප්‍රධාන වෙයි.
මධ්‍යම පළාතේ නිල පුෂ්පය වශයෙන් මහරත්මල තෝරා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ වෙබ් අඩවිය මෙලෙස සටහන් කර තිබේ .
“මධ්‍යම පළාතේ නිල පුෂ්පය වන රෝඩොඩෙන්ඩ්‍රන් ආබෝරියම් – උප විශේෂය. සෙයිලානිකම්, මුහුදු මට්ටමේ සිට මීටර් 1700 – 2300 ක් උස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැනිතලාව, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, මූන්තැන්න යන ප්‍රදේශවල වර්ධනය වේ. මෙම ශාකය නකල්ස්, නමුණුකුල කඳු වැටිවල වැඩෙන බව වාර්තා වේ.
මෙම ශාකය වනාන්තරවල නොව විවෘත ශාක මත වඩා හොඳින් වැඩෙයි. එය විවෘත තැනිතලාවල අඩි 2 හෝ 3 ක් දක්වා වර්ධනය වන අතර වනාන්තරවල අඩි 10 හෝ 15 ක් දක්වා වර්ධනය වේ. කඳුකරයේ සීතල ප්‍රදේශවල නොනැසී පැවතීමට අමතරව, මෙම ශාකය හෝර්ටන් තැනිතලාවේ නිතර සිදුවන ලැව්ගිනි වලට සාර්ථකව ඔරොත්තු දෙන බව නිරීක්ෂණය වී ඇති අතර ගින්නෙන් විනාශ වූ පසු නැවත වර්ධනය විය හැකිය. කොළ මිලිමීටර් 110×50 ක ඝනකමක් පෙන්නුම් කරයි. අනෙකුත් උප විශේෂවල කොළ සමඟ සමානව රෝඩොඩෙන්ඩ්‍රන් ආබෝරියම් – උප විශේෂය. සෙයිලානිකම් කොළවල යටි පැත්තේ සිහින් දුඹුරු පැහැති රෝම දරයි, එය අධික සීතලට ඔරොත්තු දීම සඳහා නිර්මාණය වූ ඇති උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
රොඩොඩෙන්ඩ්‍රන් ආබෝරියම් – උප විශේෂයේ අංකුර – ඕවලාකාර හැඩයෙන් යුක්ත වන අතර ඒවා වරින් වර මල් ලෙස විවෘත වේ. මල් තද රතු පැහැයෙන් යුත් පොකුරු ලෙස එළියට එයි. එවැනි සෑම මල් පොකුරකම මල් 10,20 ක් අඩංගු වන අතර ඒවා වෙන් කළ හැකිය.; ප්‍රමාණයෙන් 35×20 මි.මී. වේ. හෝර්ටන් තැනිතලාවේ මල් අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ බහුල ලෙස පිපෙන අතර මීදුමෙන් වැසුණු කඳුකරයට වර්ණ එකතු කරයි. සුන්දර හා දීප්තිමත් දසුනක් ඉදිරිපත් කරන මහරත් මල් ශාකය සොබාදහමට එකතු කරන සුන්දරත්වයට අමතරව මී මැස්සන් සහ පක්ෂීන් සිය පැණි වලට ආකර්ෂණය කර ගනිමින් කඳුකරයේ කැපී පෙනෙන සුන්දරත්වයක් නිර්මාණය කරයි.
ඉදිරිපත් කරන ලද දර්ශනීය විස්තර වලට අනුව රොඩොඩෙන්ඩ්‍රන් ආබෝරියම්-උප විශේෂය. සෙයිලානිකම් මධ්‍යම කඳුකරයේ පමණක් වර්ධනය වේ. එබැවින් මෙම මල මධ්‍යම කලාපයට ආවේණික මලක් ලෙස පිළිගෙන ඇත.” යනුවෙන් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මෙම මහරත්මල ශාඛය වනාන්තරවල දැකිය හැකි වුවද වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ හෝටන්තැන්න අධි සංවේදී පරිසර පද්ධතියේයි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ස්වභාවික ජාතික උද්‍යානය වන්නේ මෙම හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය වෙයි. මුලින් මහඑළිය නමින් හඳුන්වා ඇති හෝටන්තැන්න ශ්‍රී ලංකාවේ උස් භූමියක පිහිටි තැනිතලාවද මෙය වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 ත් 2300 ත් අතර පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3,169 ක් පුරා පැතිරී පවතී. 1920 දශකයේ දී ඉංග්‍රීසි ජාතිකයින් වන කපිතාන් විලියම් පීෂර් සහ කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා මෙම භූමිය මුලින් සොයා ගෙන ඇති අතර රොබට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව මෙම භූමියට හෝර්ටටන්තැන්න ලෙස නම් කරනු ලැබ තිබේ.
හෝර්ටන්තැන්න ගැන මෙම කෙටි හැඳින්වීම සිදු කරනු ලැබුවේ මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන මහරත්මල සම්බන්ධයෙන් කරනු ලබන විග්‍රහයට පූර්විකාවක් ලෙසිනි.
මහරත්මල ශාඛය කුරු ගස් ලෙස වැඩී ඇති අතර එම ගසේ පිපෙන මල් අතිශය සුන්දරත්වයක් විහිදුවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1700.- 2300 ත අතර පිහිටි හෝර්ටන්තැන්නේ වැඩි වශයෙන් මහරත්මල දැකිය හැකි වුවද ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, මුන්එළිය,ආදි ප්‍ර දේශවද යම් ප්‍රමාණයකට දැකිය හැකියි. මහරත්මල් ශාඛය වනාන්තරවල මෙන්ම පතන භූමිවලද දක්නට ලැබෙයි. අඩි 2 සිට 15 දක්වා වූ උසකින් පරිසරය අනුව මෙම ශාඛය වැඩෙයි. මෙම ශාඛයේ මල් හට ගැනීම පොකුරු වශයෙන් දැකිය හැකි වන අතර එය රත්පැහැයෙන් යුක්තව පිපී තිබෙනු දැකිය හැකියි. අප්‍රේල් සහ ජූනි අතර කාලයේදී වැඩි වශයෙන් දක්නට ලැබෙන මහරත්මල් සැබවින්ම පරිසරයට එක් කරන්නේ අපූර්ව දසුනකි.
මධ්‍යම පළාතට පමණක් නොව ශ්‍රී ලංකාවටම ආවේණික වූ මෙම මහරත්මල මධ්‍යම පළාත් පුෂ්පය ලෙස තෝරා ගැනීම සැබවින්ම උචිත බව මෙම සටහන්වලින් වඩාත් ගම්‍ය වෙයි.




