හිදැල්ලන සීවලියේ තිස්තුන් දෙනෙක්  එකවර පායිම්පත් ලබති.

                                                                                        

අජිත්ලාල් ශාන්තඋදය

සබරගමු නැටුම් සම්ප්‍රදායේ වෙස්තැබීමේ මගල්‍යයක පළමුවතාවට පැවැත්වු ”ගුරු වරම්දීමේ මංගල්‍යය”  ඉකුත්දා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදි උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

එය සබරගමු නැටුම් සම්ප්‍රදායේ වැඩිම නර්ථන ශිල්පීන් ප්‍රමාණයක් එකවර හිස් පැලඳූ මංගල්‍යයද විය. සීවලි දරැවන් හය දෙනෙක් සහ දැරියන් විසිහත් දෙනෙක් මෙදින හිස් පළදනු ලැබූහ.

ඔවුන් විද්‍යාලයේ නර්ථන ආචාර්ය රවින්ද්‍රනාත් මුතුගල සහ සුනේත්‍රා මුතුගල ගුරු යුවළ යටතේ සබරගමු නර්ථන විෂය හදාරා තිබුණි. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනය මැද විද්‍යාලයේ බුද්ධ මන්දීරයේදී සබරගමු නර්ථන ගුරුභවතුන් විසින් සිසු සිසුවියන්ට  හිස් පළඳනා පළඳන ලදී. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ, සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගයානි මද්දුමගේ මහත්මීන් දෙපොළද හිස් පළඳනා පැළඳීමට එක්ව සිටියහ.

මෙවැනි ”ගුරු වරම්” දීමේ කළඑළි මංගල්‍ය උත්සව  ඉතා දුර්ලභය. හිස් පළඳනා පැළඳීමෙන් පසු සිසු සිසුවියන්ගේ මුහුණු සුදු රෙදිකඩ වලින් ආවරණය කරගෙන බුද්ධ මන්දිරයේ සිට හේවිසි ශබ්ද පූජා මැද ඒ වෙනුවෙන් ඉදිකළ දේවයහන් මන්දීරය වෙත කැදවාගෙන එනු ලැබීය. එතැනදී හිස් ආවරණය කර තිබු සුදු රෙදි ඉවත්කර ගුරු සහ මව්පිය වන්දනාව සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම සිසු සිසුවියන් තිස් තුන් දෙනා එක්ව සමන්දෙවි මල් අස්න, යහන් දැක්ම නර්ථනය ද ඉදිරිපත් කළහ.

සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා  ”ගුරු වරම්” දීමේ කළඑළි මංගල්‍ය උත්සවය අමතමින් පැවසුවේය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විදේශ ශාඛාවේ විදේශ සේවා අධ්‍යක්ෂ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනිතා යන මහත්ම මහත්මීන් ඇතුලු ආරාධිතයන්, මවිපියන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *